Thursday, July 21, 2016

උපාසකයියා

 
  - උපාසකයියා -


උපාසකයියා දෙව්රම්
වෙහෙර ලග
අළුතින් දමපු දේවාලේ
ඇතුල් ගැබ
අඹ අන්නාසි කෙසෙලුත්
රස දොඩම් ගොඩ
මට සිහිකලේ ඒ පැත්තෙම
ඉරිද පොළ ...

ඊටම දෙවෙනි නැත
දෙවොලේ ඉදිරි පිට
පහනුත් මල් බුලත්
ගජරාමෙටම ඇත
බැරිවුනොතින් පිටින් ගත්තත්
දොසක් නැත
යාතිකාව හට පමණක්
ගෙවිය හැක ...

පූජා වට්ටි අඩුවට නම්
පන්සීයයි
තැඹිලිත් මල් වැලත් එක්කල
අටසීයයි
දාහක් දෙදාහක් දුන්නොත්
වැඩ සීයයි
මොනර පිළ් කළඹ නලලට
එක හීයයි ...

බුදු ගෙට කලින් යන්නේ
දැන් දෙවොල් ගෙට
ලොකු හාමුදුරුවන්ටත් ඒ ගැන
වගක් නැත
හවසට බිම් කුලිය දසමෙට
ලැබෙන විට
ඒ ගැන තවත් සෙව්මෙන්
ඇති පලක් නැත ...

එක දේවාලේ දෙක තුනවී
හතර  උනා
පෙරකදෝරු කාමර මට
මතක් උනා
උසාවි වටේ ඇති ඒවට
සමව මෙනා
දෙවිවරු නඩු අසති
ඒ තුල නොදෙති සමා ....

  - ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

No comments:

Post a Comment