Thursday, December 22, 2016

තරු අරුන්දතී



තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා ...

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා ....

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා ..

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා ..

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා ....



ප්‍රේමය සහ වියෝගය එකට අත්වැල් බැඳ ඇවිද යන යුවලක් මෙනැයි මා කියමි..
ඔබ මට යම්තාක් එරෙහි නොවෙතැයි සිතමි..
එසේ ලැබී නොලැබී ගිය ප්‍රේමයන් පිළිබඳව අපි සිහින දකිමු..ඒ සිහිනයන් සැපයැක්ම යැයි සිතා නිරන්තර ඒ මතකයන් හා සැරිසරන්නෝ වෙමු ...ප්‍රේමයෙන් බාහිරව ගිය තැන්හිදීද එය එසේමම වෙමු...ආචාර්‍‍ය අජන්තා රණසිංහයන් විසින් රචිත මේ ගීතයෙහි පද හා නිරන්තර ගැටී ඒ වේදනාවන් සැපතක් කර රසවිඳින්නන් අතර මමද එක චරිතයකි..ඔබද එක් චරිතයකි...

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා ...

කිසියම් වූ කැළඹීමකින් අනතුරුව සියල්ල නිහඩවී ඇති සැටියකි..නිශ්චලතාවය මැද සැමදා දිදුලන අරුන්දතී තාරකාව සිසොල්මන්ව බලා හිදී...මහා වෘක්ෂයෝ සිය ලඳළු අගින්  පිණි බිඳු සෙමින් සලති..මේ සංකේතයන් සිතට ගෙන එන්නේ සාංකාවකි..මහා වෘක්ෂයන්ගේ වැලපීම  පිණි පොඳක කඳුළු ලෙස සඟවා ඇත....

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා ....
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා ..

ඇය පිළිබඳව ඇත්තේ සැමරුමක් පමණි...පෙරදා ඈ බලා සිටි කවුළුව සිතට ගෙන එන්නේ වේඳනාවකි...ඇය නැතද තවත් බොහෝ ලඳුන් ඇතද ඔහුට දැනෙනුයේ තනිකමක් පමණි...( බොල් හුළඟ යන වචනය ඊ තලයක් සේ ප්‍රභලව ගීය හා බද්ධ වී ඇත ....)
ඇය පිටව ගොස් ඇත...ඒ හදවතෙහි කවුළු හැර කිසිවෙකුටවත් නොදැනෙනා ලෙසටය..මෙහි පාන්දරින් යන වදනෙන් අර්ථවත් වනුයේ රහසෙහිම පලා යාමෙකි.. නොදන්වා , නොකියා නික්මී යාමෙකි ...

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා ..
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා ....

හංස ගීතය යනු අවසානයකි..ජීවිත කාලයේම හඬ නොනඟන හංසයා හඩ නගන්නේ අවසාන කාලයේදීය..එය සාහිත්‍යයහි එන කරුණකි...මෙහෙදී ඔහුගේ වැලපෙන්නාවූ හදවත කැටපත් පවුරක් මෙනි..කැටපත් පවුරක ලියැවෙන කුරුටු ගී වෙනුවට එහි ලියනුයේ හංස ගීතයයි..එය ඔහුගේ සෙනෙහසෙහිද ජීවනයෙහිද අවසානයයි... නමුදු ඒ අවස්ථාවෙහිදීද ඔහු ඇයව අපේක්ෂාවෙන් සිටියි...උදෑසන වැටෙන මුල්ම හිරු රැස් කෙඳිසේ ඇය නැවතත් ඔහු ලොවට වඩිතැයි ඔහු ප්‍රාර්ථනා කරයි...මෙහි දැක්වෙන සොබාදහමින් ගත් සංකේතයෝ ඉතාමත් විශිෂ්ඨ ලෙස මනසට ගීය බද්ධ කරවයි..

තවත් මල් පිපී රොණ් පිරි ඇත...නමුත් ඇයගේ වියෝව ඔහුට ගැටළුවකි...ඇයගේ  හදිසි නික්මීම ගැන ඔහු කල්පනා කරයි...ඇය කොහේ ගියේදැයි සිතයි....තරු අරුන්දතී යනු කවුද.....ඇයද..?
නෙතු පියන් වසා සඟවා ගත්තේ ඇයගේ සෙනෙහසද....?

ස්ථායී කොටසක් සහ අන්තරා කොටස් දෙකක් සහිත පොදු ආදර ගීතයෙන් බැහැරව කාව්‍ය අනුරූප ලෙස නිමැවුන මේ ප්‍රේම වියො ගීය කෙතරම් නම් මනස හා යාවී ඇතිදැයි බලන්න ...පණ්ඩිත් ඩබ් . ඩී අමරදේවයන්ගේ ස්වරයෙන් ගැයෙනාවූ මෙය හිතට ගෙන එන්නේ සිහිල් සුළඟකින් ගෙන එන්නාවූ සැපයකි...ස්ටැන්ලි පීරිස් නම් ප්‍රතිභාපූර්ණ සංගීතවේදියාණන් විසින් ස්වර රටා එක් කල මේ ගීය සැබවින්ම මිල කල නොහැකි වස්තුවකි...

ගීතයක් ගීතයකින් මුදවා හදවත රිදවනාවූ අරුන්දතීය කිසිදා කිසිවෙකුටවත් අමතක නොවෙනා මතකයකි ...

- ජගත් ප්‍රසන්න කුරුගම -

Thursday, December 15, 2016

කන්ද උඩින් අටවක සඳ



කන්ද උඩින් අටවක සඳහිනාවෙනව
මෝදූ වෙන්ඩ
රෑන් පිටින් බට්ටිත්තන් පියාඹනව
කූඩු වෙන්ඩ
අඬති ළමා වසු පැටියෝ උණුසුමකට
ගාල් වෙන්ඩ
එන්න පිලට සැනසිල්ලේ ඇහැ
ඩිංගක් පියාගන්ඩ....

පැදුර පුරා රැස්මාලා අටවකදා
හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර හිමින්
නිමෙයි පහන් තිරේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ ...

පිඳුරු පියස්සේ තැවරෙන කළාමැදිරි
කාන්තියේ
නිවී පහන්වී දුරුවෙයි සෝක
තැවුල් කාන්සියේ
හිම කැට මිදින හීතලේ
හීතල නොමැත රෑ පැලේ ....


         කොතනිනද මේ කතාව පටන් ගන්නේ.. ඇත්තටම මේ ගීතය ලොකු කුඩා සැවොම නිතැතින්ම අහල තියන ගීතයක්..ඒ උනාට මේ ගීතය අයිති වෙන්නේ අනිකුත් ප්‍රේම ගීත වගේ සාමාන්‍ය ගණයට නම් නෙමෙයි...මේ ගීතය දිහා මතුපිටින් බලද්දි ඉතා ලස්සන භෞතික වස්තු ගොන්නක් ඔබට පේනව ඇති..සැන්දෑවක්.. කුරුල්ලන්.. වසු පැටවුන්..ගේ පැලක් ... . කාන්තාවක්... මේ වගේ පරිසර වස්තු සමූහයක් මේ ගීය පුරාවටම සමබරව විසිරිලා තියනව...දැං බලමු කතාව...

කන්ද උඩින් අටවක සඳහිනාවෙනව
මෝදූ වෙන්ඩ
රෑන් පිටින් බට්ටිත්තන් පියාඹනව
කූඩු වෙන්ඩ
අඬති ළමා වසු පැටියෝ උණුසුමකට
ගාල් වෙන්ඩ
එන්න පිලට සැනසිල්ලේ ඇහැ
ඩිංගක් පියාගන්ඩ .....

මෙතැන ඇත්තෙන්ම තියෙන්නෙ සැන්දෑවක්..සැන්දෑවක් කියන්නේ ඉර බැහැල ටික වෙලාවක්..රාත්‍රියට ආසන්නයි...කුරුල්ලන් රංචු පිටින් කැදලි කරා පියඹනව..ඒ වගේම අටවක සඳ කන්ද උඩින් පායනව..මේ පරිසරය මැද තරුණියක් නැතිනම් කාන්තාවක් පිරිමියෙකු නිදි යහනට කැඳවනව..ළමා වසුපැටවුන් උණුසුමට අඩනව කියල මෙතනදි කියවෙන්නෙ ඉඟියක් විදියට...ඇත්තෙන්ම මේක හරිම ශෘංගාරාත්මක ගීයක්....මෙතන ඇය යහනට කැඳවන්නේ තම සැමියද නැතිනම් වෙන අයෙක්ද කියල පැහැදිලි නෑ...අපිට ඒව හොයන්න ඕනත් නෑ....ඊළඟට..

පැදුර පුරා රැස්මාලා අටවකදා
හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර හිමින්
නිමෙයි පහන් තිරේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ ...

දැං රාත්‍රිය උදාවෙලා....ඔවුන් ඔවුන්ගේ ඇසුරේ පසුවෙනවා.. අටවක හඳ හීනියි දිගයි ... රැස් මාලා වැඩියි... ඒ රැස් , වහලේ සෙවිලි අතරින් පැදුරට වැටෙනව...ඔවුන්ගේ එක්වීමට අනුබලයක් විදියට පහන සිළ ඉබේටම නිමෙනවා....
දැං හරිම විචිත්‍රවත් රාත්‍රියක්... අඳුරු වටපිටාවක වහලේ සිදුරු අතරින් හඳේ රැස් පැදුරත වැටිලා...
ඒ අතරින් ඇසෙන්නේ  ගොපළුනගේ වස්දඬු රාවයක්....මේ සියල්ල මැද ඔවුන්ගේ එක් වීම සිදුවෙනව ....

පිඳුරු පියස්සේ තැවරෙන කළාමැදිරි
කාන්තියේ
නිවී පහන්වී දුරුවෙයි සෝක
තැවුල් කාන්සියේ
හිම කැට මිදින හීතලේ
හීතල නොමැත රෑ පැලේ ....

පිඳුරු පියස්සේ කළාමැදිරියො වහල දිලිසෙනවා.. ඔනන ඉස්සර කොටසේ හඳ එළිය පැදුරට වැටුනේ මේ පිඳුරු පියස්ස අතරින් කියල අපිට දැං වැටහෙනවා...වහලේ එළිය දෙන කළා මැදිරියො ඇයට පේනවා..එහෙම පේන්න නම් ඇය සිටින ඉරියව්ව ඔබට තේරෙන්න ඕන ..මේ මොහොතේ සියළුම සොක තැවුල් කාස්සි දුරුවෙන මොහොතක්...
හිම කැට මිදෙන තරම් සීතලක් එළියෙ තිබුනත් පැල ඇතුලෙ සීතලක් නෑ..එතන තියෙන්නෙ මේ මොහොතේ උණුසුමක්..

වචනෙන් වචනේ මේ වගේ ලිහල ගත්තම පස්වන මණඩලයේ සිනමා පටයක් වගේ කියල ඔබට හිතුනට මහැදුරු සුනිල් ආරියරත්නයන් මේ ගීය රචනා කරල තියෙන්නේ පුංචි ළමයෙකුට උනත් රසවිඳින්න පුළුවන් විදියෙ සංයමයකින්..මේකෙ අසභ්‍ය වචන නෑ දෙපැත්ත කැපෙන වචන නෑ...තියෙන්නෙ ස්වභාව ධර්මයෙන් ගනිපු ව්‍යංග්‍යර්ථ විතරයි...හැබැයි මෙහි කියැවෙන කතාව සරල නෑ...

විශාරද නන්දා මාලිනිය තම කටඬෙන් උපරිමේට සාධාරණයක් කරපු මේ ගීතයට වෙනත් ආදේශක නෑ..ඉතිං අපිට ඇත්තෙන්ම අද ඉතිරි වෙලා තියෙන්නෙ එදා ඇසුන මේ ගීත රසවිඳීන එක විතරයි..මොකද අද මේ වගේ ගීත බිහි නොවෙන නිසා..එක අතකට ඒක හොඳයි...නිකමට හිතන්නකෝ මේ සිදුවීම අද ඉන්න කෙනෙක් ලිව්වනම් කොහොමට ලියාවිද කියල ....

- ජගත් ප්‍රසන්න කුරුගම -

Monday, December 12, 2016

ඔබ ගෙදර එන්න




ඔබ ගෙදර එන්න
පහන් තරුව පායන විටවත්
ඔබ ගෙදර එන්න ...
කම් නැත මගෙ කුමරුවනේ
දෑස බොඳ වෙලා තිබුනට
මුව තැවරුණ දුම සුවඳයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි
සංකා නොමගන්න ...

කම්පා නැත ලිය වත්සුණු
ඔබෙ වත තැවරී තිබුණට ..
නාඳුනනා කෙහෙ රැහැනක්
සළුපිලි අතරේ රැඳුනට .
මට නිදි මත නැත කුමරුණි
ඔබට බත බෙදන්න ....

තෝන්තුවා වෙන්න එපා
ගතම මැළවිලා තිබුණට ..
උණු දිය සනහා පිසදා
හිස පීරමි නිදියන විට ..
තවුසකු සේ සැතපෙනු දැක
මට හැක හිනහෙන්න ...


මේක වෙනස් විදියක කතාවක්...හරිම පුදුම ඒවගේම දුක හිතෙන....සැමියෙකුගෙ දුරස්ථ බවක් ඉවසන බිරිඳක් ...ගීත සාහිත්‍යයහි වැඩිපුර නොදකින නොඇසෙන ගැහැණියක් , බිරිඳක් මේ...කෙනෙකුට එකවරම පිළිගන්නට බැරි මේ කතාව පේලියෙන් පේලියට කියවද්දි හිතට දැනෙන්නෙ මහා බරක්...ඒ සැමිය ඔබ කියල පිරිසකටත් ඒ බිරිඳ ඔබ කියල පිරිසකටත් දැනේවි....


ඔබ ගෙදර එන්න
පහන් තරුව පායන විටවත්
ඔබ ගෙදර එන්න
කම් නැත මගෙ කුමරුවනේ
දෑස බොඳ වෙලා තිබුනට
මුව තැවරුණ දුම සුවඳයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි
සංකා නොමගන්න .. .

පහන් තරුව පායන්නෙ අළුයම ...ඒ වෙනතුරු ඔහු ප්‍රමාදයි ..ඇය ඔහුගේ පමාව ඉවසනව. ..අවසානයෙදි ඔහු පැමිණෙනවා..බොඳවූ ඇසින් ..සිගරට් දුම රැඳුන මුවින් ..ඒත් ඇය ඒ සියල්ල ඉවසනව...රැයෙහි තබා දහවලේදීත් සැමියෙකුගෙ පමාව නොඉවසන බිරින්දෑවරු සිටින සමාජයක ආගිය තැන් නොවිමසා සංකා නොගන්නය යැයි පවසා ඇය ඔහුව පිළිගන්නවා ...

කම්පා නැත ලිය වත්සුණු
ඔබෙ වත තැවරී තිබුණට ..
නාඳුනනා කෙහෙ රැහැනක්
සළුපිලි අතරේ රැඳුනට .
මට නිදිමත නැත කුමරුණි
ඔබට බත බෙදන්න ....

ඔහු ආගිය ගමන් ගැන පැහැදියි...ඔහු සෙල්ලක්කාරයෙක්...ඔහු වත රැඳුන ලිය වත්සුනු , කෙහෙරැළි ඇය දකිනව...
පුදුමයක් ඇය ඒ සියල්ල ගනන් නොගෙන කියන්නෙ මොනවද...මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න කියල.. හිත කීරි ගැහෙන මේ යෙදුමනම් ඔබව සංවේදි කරන්න ඇති...ඒක තමයි මට හිතෙන විදියට මේ ගීයේ ප්‍රබලම කොටස ..

තෝන්තුවා වෙන්න එපා
ගතම මැළවිලා තිබුණට
උණු දිය සනහා පිසදා
හිස පීරමි නිදියන විට ....
තවුසකු සේ සැතපෙනු දැක
මට හැක හිනැහෙන්න ...

ඔහු එන්නෙ හොඳ සිහියකින් නෙමෙයි..ඇය ඔහුට කවා පොවා අවසන හිසද පීරනවා...මහා දයාර්ද බවක් ...
මේ තරම් සල්ලාල කම් කොට අවසන ඔහු නිදියන්නෙ තවුසෙකු වගේ ...එය බලා ඇය හිනැහෙනව...සැනසෙනව..

අපට සිටිය ශ්‍රේෂ්ඨ ගීත රචකයෙකු වූ රන්බණ්ඩා සෙනවිරත්නයන් මේ ගීය ලිව්වෙ කාටද දන්නෙ නෑ ...බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ කියල ලියපු අතින්ම ඔහු බිරිඳකගේ වරුණාව මෙලෙස ලියනව.. ඇත්තෙන්ම මේ වගේ බිරින්දෑවරු ඉන්නවද.. නැත්නම් මේ ඔහු බිරින්දෑවරුන්ට කල උපහාසාත්මක සරදමක්ද....

ඒක කොයි හැටි වෙතත් මා එක්කලා අමනාපව වී දබර  , අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබ  වැනි ගී වලත් මේ කතාව යන්තමින් ගෑවිලා තිබුණ...ගීතය සංගීතවත් කලේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්..විශාරද නීලා වික්‍රමසිංහයන් ගයනා මේ ගීතයෙහි තිබෙන්නෙ මොනවගේ චිත්‍රයක්ද කියල ඔබම හිතල බලන්න...එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් විදිවලට පෙනුනත් මේක ඇතුලේ මහා මානුෂීය කතාවක් තියනව...
අපි ඒ කතාව කියවමු ....

- ජගත් ප්‍රසන්න කුරුගම -
jagathkurugama.blogspot.com

Monday, December 5, 2016

බණ්ඩාර කේ විජේතුංග



ඔබ වෙනුවෙන් ලිව් දසක් ගී වැල්
දිය ඇදි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වඳුලක සැඟව ගියාදෝ ...

දෑත් එකතු කොට මහවැලි ඉවුරේ
ගෙවූ සැඳෑවන් අමතක වීදෝ
තුරු සෙවනැලි යට නිසල නිහඩවූ
දෑස් කතාවන් අමතක වීදෝ ...

යලිත් වතාවක් ඔබේ සිඟිති රුව
නොදැකම සදහට නෙත් පි‍යවේදෝ
සසර පුරා යන මේ දිගු ගමනේ
කවදා කෙලෙසක යලි හමුවේදෝ ..



හීනියට හමන සුළඟක් වගේ හිතේ දැවටිල ඇදී යන ගීතයක් මේ...දවසක අහල දවසකින් අමතක වෙන ගීත අතරේ මේ ගීතය ආයේත් හොයාගෙන ගිහින් ඇහුව...ගොඩාක් දේවල්  මතක් උනා..මතකයත් එක්ක සමහර සිද්දි හිතට දැනෙන්නෙ හරියට හිරිකඩ වැස්සක් වගේ..

ඔබ වෙනුවෙන් ලිව් දසක් ගී වැල්
දිය ඇදි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වඳුලක සැඟව ගියාදෝ ...

මේ ගීය බොහෝම අතීතයකට උරුම කම් කියපු ගීයක්...ආදරයෙදි හිමිවීම් වලට වැඩිය අහිමිවීම්ම තමයි වැඩි..එහෙම උනාමත් ඒකෙත් මොකද්දෝ සුන්දර කමත් තියනවා...මිල්ටන් මල්ලවආරච්චි කියන්නෙ ලංකාවෙ ඉස්සෙල්ලම කැසට් පටයකට ගී ගයපු ගායකයා..." සඳෙන් එහා " නමින් ඔහුගෙ මුල්ම කැසට් පටයේ අඩංගු ගීයක් තමයි මේ...

මහවැළි ගඟ අසල මේ කතාවට අතීතයක් තිබුණ ..මහවැළි ගඟ අසබඩ පෙම් කරපු පෙම්වතුන්ට මේක දැං මතක් වේවි..ඇත්තටම ඒ වගේ පරිසරයක ඉන්නකොට දෑස් කතාවන් මිසක මුවින් කතාකරන්න අමතක වෙනවනෙ..

ඒත් ඒවගේ ගීත ලියාපු ඔහුත් දැං බොහෝ දෙනෙකුට අමතක වෙලා... කාලය ගතවෙන වේගයත් එක්කල ගොඩාක් ලස්සන සින්දු ලියල ගියපු ඔහුව සමහරුන්ට අමතකයි..ඔහු තමයි බණ්ඩාර කේ විජේතුංග ..ගිත රචකයෙකු ,  ගුවන් විදුලි නිවේදකයෙකු , ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු ආදී බොහෝ මාධ්‍යන් තුල සැරිසැරූ බණ්ඩාර කේ විජේතුංගයන් ලියූ බොහොමත්ම ජනප්‍රිය ගීත කොච්චර තියනවද...ඒත් අවාසනාවට ගීත එක්කල වර්ථමාන මාධ්‍යය ඔහුගේ නමවත් ප්‍රචාරය කරනවද දන්නෙ නෑ...

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි..
සඳ උතුරා ගංඟාවේ ..
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා..
සඟවාගනු මැන ඔබ රුව සොඳුරියේ..
මහද පෙම් විලේ..
දිනෙන් දින ඔබ මා වෙතින්..
ඔබද මාද විය ...
රුවන් තොරණ් තනා...
මිහිදුම් සළුතිර පැළදි නමුනුකුල ..

ආදී බොහොමත්ම අපූරු ගීත ඔහු අතින් රචනා උනා...වාසනාවකට වගේ ඒ කාලයේ ඒ ගීත ගුවන් විදුලියෙන් නිතරම ප්‍රචාරයත් උනා...ඒ ගීත එක්කල ජනප්‍රිය උනේ නම් ඒ ගීත ගයපු ශිල්පීන් ශිල්පිනියන්..ඒ නිසා අද බොහෝ දෙනෙකු ඔහු ලියපු ගීත ගැන මිසක් ඔහු ගැන කතා කරන්නෙ අඩුවෙන්. 1939 ජනවාරි 28 ඉපදුනු බණ්ඩාර කේ විජේතුංගයන් 1990 ජනවාරි 03නිදා අපව හැර ගියා...තාමත් ඔහු වටා හිටපු ඔහුගේ සමීපතමයන් ඔහු ගැන ඉඳ හිට මාධ්‍යයයෙන් කතා කරනව...

කාලයත් එක්කල වෙනස්වෙන ලෝකයක නොවෙනස්වෙන ගීත ලියපු ඔබ ආයෙත් එන්නෙ නෑ කියල දන්නව... ඒත් මිනිස්සුන්ගෙ හිත්වල තවරල ගියපු ඒ ගීතවල මිහිරියාව තවත් කාලයක් ඒ වගේම තියේවි ....

- ජගත් ප්‍රසන්න කුරුගම -