Tuesday, March 21, 2017

යාළු බාල සඳේ ..



යාළු බාල සඳේ කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත්
නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා
මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වළා
පෙලේ අඳින්නේ .....

දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ  සිටින නුඹට පමණි
පෙනුනෙ යාළු ....
විරහ තාපයේ දැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ
දැනුණේ යාළු .....

ඈ දැකුමට නලියන සිත
ඇගෙ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේන්
හිනැහෙන් යාළු ......


තනිකම සහ ප්‍රේමය...ප්‍රේමය සහ සඳ .
මේ ත්‍රිත්වයෝම එකතරා අන්දමක එකිනෙකට බැඳී ඇති සැටියකි...රැයෙහි මා අහස දෙස බලමි.. මට නොයෙකුවූ සිතිවිලි ගලා එයි..සඳ පායා දිලෙයි.ඒ සඳ කුඩා දරුවෙකුට සමීප වන්නේත් තරුණයකුට සමීප වන්නේත් වැඩිහිටියෙකුට සමීප වන්නේත් විවිධාකාර අයුරකිනි..ඒ තරමටම සඳ අපේ ජීවිත හා සෑම කාලයකම බැඳී තිබෙනා වස්තුවකි..

ඉහත ගීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්හට වස්තු වූයේ තවත් ආකාරයකිනි..එතුමන් අතින් ලියැවී සෝමතිලක ජයමහ නම්වූ මහා ගායකයානන් මුවින් එය ගායනා වූයේද වෙනස්ම අයුරකිනි.මීට දශක ගනනාවකට ඉහතදී නිර්මිත වූවත් මේ ගීය අදටත් සඳ සේ නොවෙනස්ව අපට රසයක් ගෙනෙනවා නොවේද..

යාළු බාල සඳේ කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත්
නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා
මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වළා
පෙලේ අඳින්නේ .....

මෙතන උක්ත පුද්ගලයා තරුණයෙකි.ඔහු සඳ දෙස බලා සිටී..ඔහුට සඳ මිතුරෙකි...යාළු බාල සඳේ යැයි ඔහු සඳ අමතයි..බාල සඳ යනු අඩ සඳයි..ඒ අඩ සඳින් ඔහු සිය පෙම්වතියගේ නළල් තලය දකියි..ඈ සිටින තැනට ඔහු රැගෙන යන්නැයි ඔහු සඳට පවසයි..අනුමාන වශයෙන් වෙන්වීමක් නැත හොත් ඈත්වීමක් ඔවුන් අතර වී ඇති සැටියකි..

දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ  සිටින නුඹට පමණි
පෙනුනෙ යාළු ....
විරහ තාපයේ දැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ
දැනුණේ යාළු .....

මේ කොටසින් අපේ අනුමානය නිවැරදි වේ..ඈ වෙසෙන්නෙ ඔහුගෙන් දුරකිනි. නැත්නම් කුමන හේතුවකින් හො ඇය ඔහුගෙන් ඈත්කර ඇති සෙයකි. ඔහු මෙන්ම මෙවේලෙහි ඇයද සඳ දෙස බලා හිදිතැයි ඔහු සිතයි..තමන්ගේ තනිකම තේරුම්ගත් මෙලොව සිටින එකම කෙනා සඳ යැයි ඔහු සිතයි..ඇත්තෙන්ම වෙන්වීමක ඇති විප්‍රලම්භ රසය පරිසර වස්තූන් හා එකවී ඇති අපූරුව මොනතරම්  සෞන්දර්යාත්මකද....

ඈ දැකුමට නලියන සිත
ඇගෙ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේන්
හිනැහෙන් යාළු ......

ඔහුගේ සිත ඇය දැකගන්නා තුරු තැවෙයි..වැලපෙයි..නමුත් කරන්නට දෙයක් නොමැත..ඇය ඔහු අසල නොමැත.නමුත් සඳ දෙස බලන ඔහුට ඒ සඳවත තුලින් තම පෙම්වතියගේ මුහුණ පෙනෙයි..ඇයගේ නළලතෙහි හැඩය සඳට ආදේශ වෙයි..ඒ දෙස බලා ඔහු සැනසෙයි..නැවතත හෙටත් මේ ලෙසටම කඳු මුදුනින් සඳ නැගෙනාතුරු ඔහු බලා සිටියි...එතනින් දීර්ඝ කාලීන වෙන්වීමක සේයාවක් ජනිත වේ...

ඔහු සඳ දෙස බලා සිටී..මාද ඔහු හා දුක් වෙමි..ඔහුගේ දුක සිතින් වැළඳගමි.ගීයක රසය ලේ වලට පවා දැනෙනා අයුරක් හැඟේ..එන්න ඔබත් ඔහු හා මේ සඳ දෙස බලන්න..


- ජගත් ප්‍රසන්න කුරුගම -
jagathkurugama.blogspot.com

Wednesday, March 8, 2017

හර්දෙ රස මාළිගේ




හර්දෙ රස මාළිගේ ප්‍රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ ...
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ඔබෙ දායාදේ ...
හර්දෙ රස මාළිගේ ප්‍රීතිවේ මා හදේ ...

පිය හදෙහී මා රස ගන්වා
පැතුවේ මෙමා
දරු සෙනෙහේනි හදවත්හි
පැතුමන් තබා ...
ඔබ ආවාදෝ මා වාගෙ
බිරිඳ සොයා මේ ජීවිතයේ .....

අප රසවත්වි එක තුරුලෙ
පෙම් ගී හඩින්
ඔබ මන්මත්වි පැතුවාද
මේ ජීවිතේ
අප දෙදෙනාගෙ එකවාගේ
ප්‍රේමේ කියා මේ ජීවිතයේ....

ලොව රන්වන් වූ ආලෝකේ
දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ
මේ ගීතේ ගයා ...//
ප්‍රිය රසදේහිනි මා ආවේ සොයා මේ ජීවිතයේ ...



මම මෙච්චර කාලයකට ඇහුව ලස්සනම ගීතය මොකද්ද කියල ඇහුවොතින් මට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ මේ ගීතය..ඔබ දැං  බලාවි ඒ ඇයි කියල.ඒකට විෂේශ හේතු නෑ..විශාරද සුජාතා අත්තනායක මහත්මිය ගැයුව මේ ගීතයට මම මහ හුඟක් ආදරෙයි..ඒක වචනයෙන් කියන්න බෑ...මහ ආදරණීය බවක්..මම දන්නව මේ ගීතයට ඔබත් ආස ඇති .

මේක චිත්‍රපට ගීයක්..ඒක අපි අමතක කරමු.ඒක අමතක කරල සාමාන්‍ය ගීයක් වගේ මේ දෙස බලන්න...වෙනත් ගීයක ඔබ නොදුටු නොදැනුන ආදරයක්, උණුසුමක්, ලෝබ කමක් ඔබට දැනේවී.
ඒක මට නම් එහෙමමයි.මම කවදත් ආදරේ කරන හඬක් මේ ..

ඒත් මෙහි දෙවන අන්තරා කොටස ඔබට නුහුරු වෙන්න ඇති.මොකද්ද පසු කාලයක ප්‍රචාරයෙහි ලේසීයට අන්තරා කොටස් දෙකකට අඩු කරල මේ ගීය ගැයුනත් මේ ගීය ඇතුලත්වූ සකුන්තලා චිත්‍රපටයට මේ ගීය ගැයුනේ මේ වගේ අන්තරා කොටස් තුනක් සමගිනුයි.

ධර්මසිරි ගමගේ වියතානන් ලීව මේ ගීතයට සංගීතය එක් කලේ ටී එෆ් ලතීෆ් සහ එම් කේ රොක්සාමි.. සුජාතා අත්තනායක කියන්නෙ දැනට අපිට ඉන්න සීමිත ජාතික වස්තු වලින් එකක් .ඒ හඬට හඬක් තවත් නෑ...මේ ගීයෙහී ඇතැම් තැන් ඇය ස්පර්ශ කරන්නෙ අදහ ගන්නත් බැරි විදියට.මට නම් ඒක හාස්කමක් වගේ...
ඉස්සර උදේම සාධු දන්ත දා කියල ඒ හඬින් දවස පටන් ගත්තු විදිය අදටත්  ඒ වගේම මතකයි.ඈ එය ගැයුවෙ එකොලොස්වන වියේදි..

වෙසක් කාලෙට මල් සුගන්දේ දම් සුගන්දේ.මතකද ....
ගීත වශයෙන් මතක් කරන්න ගියොත් වෙනම පාඩමක් වගේ...චිත්‍රපට තුන්සිය පනහකට වැඩිය ගීත කියාපු ගායිකාවක් ආයේ ලංකාවෙ කොහෙන්ද...ඒ වගේම ප්‍රථම චිත්‍රපට සංගීතය අධ්‍යක්ෂ වරියත් ඇයමයි..ඒ හඩ කොතරම් තියුණුද කියල කියනවනම් 1979 ලංකාවට පැමිණි ශ්‍රීමත් දීපල් භාත් මැතිනියගේ සරල ගීත ශිල්පී ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයන් ඇය විශිෂ්ඨ   ශේණියේ ගායිකාවක් ලෙස මුල් තැනට පත් වෙද්දී ඇයට පිටු පසින් අනිත් අථාන ලැබූවෝ පිළිවෙලින් මෙහෙමයි..

1 සුජාතා අත්තනායක
2 ලතා වල්පොල
3 නන්දා මාලිනි
4 වික්ටර් රත්නායක
5 අමරදේව

ඇත්තෙන්ම අපි මීට වඩා එතුමිය පිළිබඳව කතා කල යුතුයි.මොකද කලා කරුවෙකු පිළිබඳව අපි කතා කල යුතු වන්නේ ඔවුන් සජීවීව ඉන්නා අවදියෙදිමයි.ඉතිං මෙවන් හඬක් තවත් ඇතිද.
සුජාත වූ සුජාතාවෙනි ඔබ දීර්ඝායු ලැබ තවත් කලක් යෙහෙන් වෙසෙත්වායැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි ..

- ජගත් ප්‍රසන්න කුරුගම -