Wednesday, October 26, 2016

දුරක පාවී ගියා, duraka pawi giya



දුරක පාවී ගියා
නෙතක ආරාධනා ...
සිතක වේදනා සදා
පැතුම පාවෙලා ගියා ...

සොඳුරු රෑ කාලයේ
සුරත දී යාවෙලා
දෙදෙන තෙපලූ කතා
නොමැත ගොළුවී ගියේ ....

පැතුම වී ජීවිතේ
මගේ මනෝරංජනී
සසර සරණා තුරා
ඔබම මට වාසනා .......



අසූව දශකයේ අග හරියෙ නැත්නම් අනූව දශකයේ ඉස්කෝලේ ගිය අය පට්ට ගහපු ගීතයක් තමයි මේ...මමත් ඒ කාලේ එහෙම කලා...මේ ගීතය ඒ කාලේ අපේ ඇගට ජීරණය වෙලා තිබුණෙ ඒ විදියටයි...ඔබට මතක ඇති ඒ නම..
 " ඇන්ටන් සේනානායක .."  මහ විශාල ගීත ප්‍රමාණයක් ගායනා කරල නැති උනාට ඔහු ගැයූ බොහෝම ගීත හරි ඉක්මනට ජනප්‍රිය උනා..

ඒ කාලේ ගුවන් විදුලියේ උදෑසන එකොළහේ ඉඳල දොළහ වෙනකන් ප්‍රචාරය උන මධු රසාංග ගීත වැඩසටහනෙහි අනිවාර්යයෙන්ම යන ගීතයක් තමයි මේ..කුලරත්න ආරියවංශ රචනා කරපු මේ ගීතය සංගීතවත් කලේ ප්‍රියා සූරියසෙනයන් විසිනුයි...

කාලෙක ඉදල මේ ගීතය ගැන ලියන්න ඕනෙ කියල හිතුවත් ඒක අතපසු උන නිසාම අද උදේම මම ආසිරිට මල්ලිට කතා කලා...ආසිරි කියන්නෙ මේ ගීතය ගැයූ ජනප්‍රිය ගායකයානන්ගේ එකම පුතා..ඔහු ආසිරි සේනානායක ..

කවදත් දයාබර සහෝදරයෙකු උන ආසිරි සිය පියාණන් විසින් ගැයුව මේ ගීතය ගැන සිහිපත් කලා ..

තාත්තා කියපු ගීත වලින් ගොඩාක්ම ජනප්‍රිය උනේ ඔය ගීතය..ඒ කාලෙ වගේම අදත් සෑම දෙනා අතරෙම ඔය සින්දුව ජනප්‍රියයි....ඔය සින්දුව තාත්තා කිව්වෙ අපේ අම්මට..
ඕකේ තියනව ' මගෙ මනෝරංජනී ' කියල කොටසක්.. මනෝරංජනී කියන්නෙ අපේ අම්ම..

ඒ වගේම ඇන්ටන් සේනානායකයන් ගයපු තවත් ජනප්‍රිය ගීයක් තියනව ' ඉන්දීවරී ඔබ හා ' කියල.. ඒ ගැනත් ආසිරි සිය මතකයන් අවදිකලා..

මේ සින්දුවෙත් තියෙන්නෙ අපේ අම්මව බලන්න තාත්‍ත ගිය අවසථාවන් වල සිදු උන විස්තරයන්.. මෙහි තිබෙනවා
" වියලි විසල් හද මන්දිර මිදුලේ
රෝස මලක් සේ ආදරෙන්
කටු අකුලා ඔබ වට කරලා
මා එන මග අහුරා ..."
කියල කොටසක්... අපේ අම්ම ජීවත් උනේ ටිකක් විශාල නිවසක..ඒ කාලෙ බංගලාවල් කියල කියන්නෙ..ඉතිං තාත්ත අම්මව බලන්න ගියාම ඒ පාර්ශ්වයෙන් තාත්තට බාදාවල් කරල තියනව අම්මව හමුවෙන්න නොදී..ඉතිං පස්සෙ කාලෙක ඒ අතීත අද්දැකීම් ඔස්සෙ තමයි ඉන්දීවරී ගීතය ලියැවුනේ ....

ඇත්තෙන්ම මේ වගේ ගීත අදටත් එක වගේ ජනප්‍රිය වෙන්න මේ අත්දැකීම්ම සාධාකයන් වෙන්න ඇති.

දුරක පාවී ගියා ..
ඉන්දීවරී ඔබ හා ..
පාවීලා මුතු පින්නේ ..
ඔබේ යෙහෙළියන් ඔබට ලැදි සේ ..
දෙනුවන් පබා ...
සිත පියාඹා ඔබ සොයාලා ...
හමුවීම සැනසීම නම් ..
එදා වගේම ලඟින් හිදින්න ..( ධම්මිකා වල්පොල සමග)

මේ වගේ බොහොමත්ම ගීත ඇන්ටන් සේනානායකයන් විසින් ගයා තිබෙනවා..ඒ වගේම ඔහු අපට සිටිය හොඳ ප්‍රසංග සංවිධායක වරයෙක්.. ඒ ගැනත් ආසිරි කතා කලා..
තාත්ත බොහෝ විට සංගීත ප්‍රසංග සංවිධානය කලා..ඒ කාලේ  ගොඩාක් ජනප්‍රිය සංගීත කණ්ඩායමවල අය ප්‍රසංග ඉල්ලගෙන අපේ ගෙදර ආව..මේරියන්ස් ,ගැලැක්සීස් ,බ්ලූ ෂැඩෝස් ,සන්ෆ්ලවර් ඒකාලේ තාත්ත එක්ක බොහොම ලඟින් ඇසුරු කලා...ඒත් දැන් ඒ අයට ඒව මතකද දන්නෙත් නෑ..

තාත්තා සින්දු කියන නිසා බොහෝ ගායකයො ඒ කාලෙ අපේ ගෙදර ඇවිත් යනව....හරිම සුන්දර අතීතයක් ඒ කාලෙ තිබුනෙ.
ඒවගේම තාතත හදපු music tracks ගොඩාක් මා ගාව තියනව..ඉදිරියෙදි ඒවට වචන යොදල ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නව...

1951 පෙබරවාරි 05නි දා මෙලොව එළිය දුටු මේ මේ ජනප්‍රිය ගායකයානෝ 2007 ජනවාරි 17නි දා මෙලොව හැර ගියා ..ඒ උනාට ඔහු ඉතිරිකරල ගියපු ඒ මතකය හැමදාමත් අපේ සිත්වල ජීවමානව පවතිනවා..... 
ඉන්දීවරී ගීය පහතින් .

ඉන්දීවරී ඔබ හා
හිනැහෙමි මුව පුරහා
මියුලැසියේ මා හා
කිව මැන කිම තරහා ...

වියලි විසල් හද මන්දිර මිදුලේ
රෝස මලක් සේ ආදරෙන්
කටු අකුලා ඔබ වට කරලා
මා එන මග අහුරා ...

කඳුළු පොදක් නැති මා නෙත් සඟලට
කඳුළු හෙලන්නට රාත්‍රියේ
ඔබ ඉදුරා නෙත්යුග වටලා
කිමදෝ ලතැවෙන්නේ ....

- ජගත් ප්‍රසන්න කුරුගම -

Monday, October 17, 2016

නා කොල අන්දම්



නාකොල අන්දම් පෙන නොවටින්නේ
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී ....
සමාවෙයං නයි හාමී .....

දරමිටි බදිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....

ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....


නයා නැත්නම් නාගයා අපේ සංස්කෘතිය කෙරෙහි බැඳී ඇත්තේ මහා අපූර්ව විදියට..සර්පයෙක් උනත් නාගයා කෙරෙහි මිනිසුන් තුල ඇත්තේ ගෞරවයක්..මේ සටහන නාගයා හා අදාල ඉහත ගීතය පිළිබඳවයි..

මේ ලඟදි කෙනෙකු මේ ගීය ගැන පවසා තිබුණෙ ගැරඬියෙකු විසින් නාගයෙකුට කරනා ඇවටිල්ලක් විදියටයි  .මේ අදහස පිළිගන්න මගේ හිත මැලිකමක් දැක්වූ නිසාම මෙහෙ අග මුල හොයා යන්න කල්පනා කලා ...

විශාරද කපුගේ ගායනා කරන මේ ගීය දහ අට වන්නමට අයත් නයියඩි වන්නම ඇසුරෙන් නිර්මාණය කලේ ප්‍රවීණ ගේය පද රචක කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් විසිනුයි..කාලෙකට පස්සෙ රත්න ශ්‍රී විජේසිංහ මහතාහට පණිවිඩයක් තියල මම ඉවසන් බලා උන්න...
උදේ පාන්දරින්ම ඇහැරුනේ මම බලාපොරොත්තු උන ඇමතුමෙන්..
" ජගත් මොනවද දැනගන්න ඕන කීවේ..." සුපුරුදු ආදරණීය හඩ අනිත් පැත්තෙන් ඇහුන ..
මගේ ඉල්ලීමට අනුව රත්න ශ්‍රී විජේසිංහ මහතා ගීය පිළිබඳව පැහැදිලි කලේ මෙන්න මේ  විදියටයි ..

" ඔය ගීය කපුගේගේ  " ඉරබටු තරුව " කැසට් එකට ලිව්ව එකක්..ඉතිං ඕකෙ විස්තර කියනවනම් මෙහෙමයි..ඕක මේ සමාජ පිළිබඳව උත්ප්‍රාසයකින් ලියැවුන එකක්.."

නාකොල අන්දම් පෙන නොවටින්නේ
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී ....
සමාවෙයං නයි හාමී .....

" නයෙක් පෙනේ කලාම හරියට බෝ කොලයක් වගෙයි..පෙනේ හකුලාගෙන ඉන්නකොට නා කොලයක් වගේ දිගටි හැඩයක් ගන්නව..ඉතිං මේ සමාජයේ ජීවත් වෙන්න ඕනනම් අපිටත් අර පෙනේ පුප්ප්පන් ඉන්න නයා වගේ වෙන්න ඕන..හැකිළුන පෙනයක් දරා ඉන්න නයා වටින්නෙ නැහැ... සමාජයේ  ඉන්න අමාරුයි.."

දරමිටි බදිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....

මෙතනදි කියන්නෙ අර බෞද්ධ කතාවක එන සිදුවීම..ගැහැනියක් නයා ගෙන් දර මිටියක් ගැටගහගෙන යන කතාව..ඒ කතාවෙ නයාට එහෙම වෙන්නෙ ඒ සතා ඉවසපු හින්දයි..ඉතිං මේ වගේ ඉවසන්න ගියොත් දරමිටි වලට බඳීවි ... වලං තියන්න දරනු වලට ගනීවි ... ඒ හින්දම ගැරඬියො නටන්න පටන් ගනීවි වගේ අදහසක් තමයි මෙතනින් කියැවෙන්නෙ...මේක මේ සමාජයට කියන දෙයක්...ඉතිං මේ ගීයෙ එන පුද්ගලයා ඒ නිසා නයාගෙන් පෙනේ ඉල්ලනව ...."

ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....

" මේ ලෝකේ හැමතැනකම විස පිරිලා..ඉතිං එහෙව් ලෝකෙක් නුඹේ විස මොන විසක්ද කියලයි මොහු නයාට කියන්නේ...සුරම්‍යවූ සර්ප විමානෙ කියන්නෙ අපි ජිවත්වෙන සමාජෙට..ඉතිං මෙහෙව් සමාජයක ඉහ ගහගෙන ජීවත් වෙන්න පෙනේ දෙන්න කියලයි ගීතයෙන් ඉල්ලන්නෙ...."

රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ගීතයෙහි එකින් එක පද පේලි තේරුම් කලේ ඔන්න ඔය විදියටයි...ඉතිං ඇත්තටම ගීතයක් කියල නිකම්ම වචන පේලී ලියල හදන ගීත අතර මෙවන් තේරුම් ඇති ගීත තව කොතෙකුත් ඇද්ද..ඒත් අද ඒ ගී වලින් අපට ඇසෙන්නෙ කීයෙන් කීයක්ද...

මේ ගීතයට විෂය වුනු නයියඩි වන්නම නොදන්න අයට දැනගන්නත් එක්කල දාන්නම්.. සමහරවිට ඔබත් මෙය නටල ඇති. බලන්න මතකද කියල..

නයියඩි වන්නම

ඉපිද එබෝසත් නාලොව වාරෙක
පැහැද රකිති සිල් නරලොව වනයෙක
බොවද දෙමින් අල්වා අහිකුන්ඨික
පැසක ලමින් නටවා දුක් දී නෙක

අන්දමකින් ඉඳ පෙනය නගායේ
සන්දම මෙන් දැහැඩින් වකලායේ
රන්දම මෙන් ගත වටින් දිලීයේ
පන්දම ලෙස දන දී නටවායේ

බෝකොල අන්දම් පෙනය නගායේ
නාකොළ අන්දම් පෙන හකුලායේ
ලෝතුල රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙරෙ සිට ආයේ

දිගා සිරුර කොටසක් හකුලා මුඩි
නගා ගතය ලෙලවා කරමින් දැඩි
රඟා සිරින් සිඹිමින් නදයෙන් වැඩි
වගා අසන් මෙම වන්නම නයියඩි

- ජගත් ප්‍රසන්න කුරුගම -
jagath kurugama @ facebook

Friday, October 14, 2016

කරඹ යායේ





කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ
නුඹ බලන්නයි අරුන්දතී ....

ඇල් හේන දෙපසේ
මල් සුවඳ අතරේ
සහන් සුව දැනුණේ
පූදින නාමල සේමා
කෝමළ හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුණේ ....

ගිනි අව්ව නිවිලා
සිත සනසාලා
වසන්තයයි එන්නේ‍
රන්වන් මාලා දාලා‍
රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ ....
 

හරි අපූරු මතයන් ගොන්නක් හිතට කාන්දු කරවන්නාවූ මේ ගීතය ආයෙමත් ඇසුනෙ දැනුයි...අරුන්දතී..ඒක හරි අපූරු නමක්...ගීත සාහිත්‍යය තුල කිහිප විටක් ඇසූ නමක් තමයි අරුන්දතී කියන නම...
පණ්ඩිත් අමරදේවයන් ගැයූ " තරු අරුන්දතී " ..ඒ වගේම වික්ටර් රත්නායකයන් ගැයූ " අරුන්දතී තාරකාව සේ "  වගේම විජය කුමාරතුංගයන් ගැයූ ඉහත උක්ත ගීයත් මේ අරුන්දතී වදන හිතට කැන්දාගෙන එන ගීතයන්..

ගීතය පුරාම තියෙන්නෙ එකම රූප රචනා සමූහයක්..මෙතන කරඹ යාය කියන්නෙ එක්කෝ ප්‍රදේශයක නමක් නැත්නම් කරඹ ගස් බහුල පැත්තක් වෙන්නත් පුළුවන්..නෙළුම් පිපිච්ච වැවක් වැළි පාරක් ..කරඹ යායක්...මේ පරිසර සාධක එකට එකතු උනාම මෙය අනිවාර්යයෙන්ම වියළි කළාපයෙහි ගමක් විය යුතුමයි...ඉතිං ඒ මගෙහි එන අරුන්දතී ගැන තමයි ගීය පුරාම කියැවෙන්නේ..

ඇත්තෙන්ම අරුන්දතී කියන්නෙ මහ වළසා තාරකා පන්තියට අයිති තරුවක්..දීප්තියෙන් දිදුලන මෙයට සාහිත්‍යයහි විශාල ඉඩක් හිමිවෙලා තියනව..ඉතිං මේ ගීතයෙහි කියැවෙන අරුන්දතීත් ඒ වගේම ලස්සන තරුණියක් වෙන්න ඇති..

ඇල් හේන දෙපසේ
මල් සුවඳ අතරේ
සහන් සුව දැනුණේ
පූදින නාමල සේමා
කෝමළ හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුණේ ....

ඔනම කෙනෙකුට තමන්ට කැමති විදියට චිත්ත රූප මවාගන්න පුළුවන් ආකාරයට පද මාලාව නිර්මාණය වෙලා තියනව..කෙලින්ම නා මල වගේ කියන්නෙ නැතිව පූදින කියන විශේෂන පදයත් එක්ක නා මල එකතු කල නිසා මුළු ගීයටම එයින් ගොඩාක් එළියක් වැටෙනව...

ගිනි අව්ව නිවිලා
සිත සනසාලා
වසන්තයයි එන්නේ‍
රන්වන් මාලා දාලා‍
රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ ....

ගිණි අව්ව නිමිල කියල මෙතනින් අදහස් කරන්න මුලින් අන්තරා කොටසෙහි කියැවුන ඇල් හේන කියල යෙදුන පදයටම නෑකම් කියැවෙනා කොටසක්..
හේන් ගොවිතැන් අහවර වෙලා .. එක කන්නයක් සරුවෙලා ... ඉන් පස්සෙ එන වසන්ත සමයක් ගැන තමයි කියැවෙන්නෙ මෙතනින්..ඉන් පස්සෙ විවාහයක් ...ලස්සනට ලියැවුන සුන්දර සරල ගීයක් තමයි මේ...

මේ ගීයට සම්බන්ධවුන යෝධයන් දෙදෙනෙකුම අද නෑ..මුළින්ම ජනකාන්ත නළු විජය කුමාරතුංග.. ඔහු අකල්හිම ජාතියට අහිමි උනා...ඒත් ඔහු අප හැර ගියේ ජනප්‍රියත්වයෙහි හිනිපෙත්තෙ ඉදිද්දි නිසා ඔහුගේ නම , රුව කවදාවත් අමතක වෙන්නෙ නෑ...

ඒවගේම සරත් දසනායක..සමූහ වයලීන් වාදනයක් සිතාර් වාදන කොටසක් ඇහුනත් අපිට ඔහුගේ අනන්‍යතාවය හදුනාගන්න පුළුවන්..

මේ අය අතරින් දැනට මේ ගීයට හිමිකම් කියන අපට ඉන්න  ජීවමාන එකම හිමිකරුවානන් තමයි මේ ගීය ලියූ ගීත රචකයා..ඔහු තමයි ප්‍රවීන ගීත රචකයෙකු,  පුවත්පත් කලාවේදියෙකු , ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන " රොඩ්නි විදානපතිරණ..."  ගීයේ යට ගියාව ගැන කතා කරන්න හිතාගෙන අද උදේම කතා කලාම ඔහු මේ ගැන කීවේ මෙන්න මෙහෙමයි..

" ඔය ගීය ලියුවෙ අසූව දශකයෙහි මුල් කාලෙදි වගේ..සරත් දසනායක මගේ හොඳ මිත්‍රයෙක්..දවසක් ඔහු කීව සේන සමරසිංහ අලුතෙන් කැසට් එකක් කරනවා ඒකට සිංදුවක් ලියල දෙන්න කියල...ඉන් පස්සෙ මම සරත් දසනායක එක්ක ඔහුගෙ ගෙදරදි ඔය සිංදුව ලිව්ව..සරත් සර්පිනාව අරගෙන තනුවක් හැදුව..ඒකට මම එවෙලෙ බොරු වචන දාල ආකෘතික් ලිව්ව..ඉන් පස්සෙ ගෙදර ඇවිත් ඒ ලිව්ව බොරු වචන වලට ගැලපෙන වචන යොදල ඔය ගීතය නිර්මාණය කලා..."

" මට මතකයි ඔය ගීය පටිගත කරන වෙලාවෙ මමත් එතන හිටිය..ඒ කාලෙ විජය කුමාරතුංග හිරෙන් නිදහස් වෙලා ආපු කාලේ වගේ මතකයි...විජය ඒ දවස්වල හිටියෙ පුංචි බොරැල්ලෙ ගෙදරක..මමත් ඒ ආසන්නයේම බෝඩින් වෙලා හිටියෙ... විජයට ඒ කාලෙ ඩෙලිකා වර්ගයේ වාහනයක් තිබුණෙ..
ඉතිං පටිගත කිරීම ඉවර උනාම විජය මාව බෝඩිමටම ගෙනත් ඇරලුවා මතකයි.. අන්න ඒවගේ සුන්දර මතකයක් මේ ගීයට තියනවා. එදා සරත් දසනායකගෙ තනුවට එවෙලෙ බොරු වචන දාල හදපු මේ ගීතය අදටත් ඒ වගේම ජනප්‍රියයි ...

ඔන්න ඔය විදියටයි ගීතය ලිව්ව රොඩ්නි විදානපතිරණ මහතා මේ පිළිබඳව සිහිපත් කලේ...මේ වගේ අමරණීය ගීත කොච්චර තියෙනවද...ඒ ඇතුලෙ මේ වගේ සොඳුරු මතකයන් කොයිතරම් තියෙනවද...ඒ ගැන  හිතන්න ඔබට බාරයි...

- ජගත් ප්‍රසන්න කුරුගම -