Friday, October 14, 2016

කරඹ යායේ





කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ
නුඹ බලන්නයි අරුන්දතී ....

ඇල් හේන දෙපසේ
මල් සුවඳ අතරේ
සහන් සුව දැනුණේ
පූදින නාමල සේමා
කෝමළ හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුණේ ....

ගිනි අව්ව නිවිලා
සිත සනසාලා
වසන්තයයි එන්නේ‍
රන්වන් මාලා දාලා‍
රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ ....
 

හරි අපූරු මතයන් ගොන්නක් හිතට කාන්දු කරවන්නාවූ මේ ගීතය ආයෙමත් ඇසුනෙ දැනුයි...අරුන්දතී..ඒක හරි අපූරු නමක්...ගීත සාහිත්‍යය තුල කිහිප විටක් ඇසූ නමක් තමයි අරුන්දතී කියන නම...
පණ්ඩිත් අමරදේවයන් ගැයූ " තරු අරුන්දතී " ..ඒ වගේම වික්ටර් රත්නායකයන් ගැයූ " අරුන්දතී තාරකාව සේ "  වගේම විජය කුමාරතුංගයන් ගැයූ ඉහත උක්ත ගීයත් මේ අරුන්දතී වදන හිතට කැන්දාගෙන එන ගීතයන්..

ගීතය පුරාම තියෙන්නෙ එකම රූප රචනා සමූහයක්..මෙතන කරඹ යාය කියන්නෙ එක්කෝ ප්‍රදේශයක නමක් නැත්නම් කරඹ ගස් බහුල පැත්තක් වෙන්නත් පුළුවන්..නෙළුම් පිපිච්ච වැවක් වැළි පාරක් ..කරඹ යායක්...මේ පරිසර සාධක එකට එකතු උනාම මෙය අනිවාර්යයෙන්ම වියළි කළාපයෙහි ගමක් විය යුතුමයි...ඉතිං ඒ මගෙහි එන අරුන්දතී ගැන තමයි ගීය පුරාම කියැවෙන්නේ..

ඇත්තෙන්ම අරුන්දතී කියන්නෙ මහ වළසා තාරකා පන්තියට අයිති තරුවක්..දීප්තියෙන් දිදුලන මෙයට සාහිත්‍යයහි විශාල ඉඩක් හිමිවෙලා තියනව..ඉතිං මේ ගීතයෙහි කියැවෙන අරුන්දතීත් ඒ වගේම ලස්සන තරුණියක් වෙන්න ඇති..

ඇල් හේන දෙපසේ
මල් සුවඳ අතරේ
සහන් සුව දැනුණේ
පූදින නාමල සේමා
කෝමළ හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුණේ ....

ඔනම කෙනෙකුට තමන්ට කැමති විදියට චිත්ත රූප මවාගන්න පුළුවන් ආකාරයට පද මාලාව නිර්මාණය වෙලා තියනව..කෙලින්ම නා මල වගේ කියන්නෙ නැතිව පූදින කියන විශේෂන පදයත් එක්ක නා මල එකතු කල නිසා මුළු ගීයටම එයින් ගොඩාක් එළියක් වැටෙනව...

ගිනි අව්ව නිවිලා
සිත සනසාලා
වසන්තයයි එන්නේ‍
රන්වන් මාලා දාලා‍
රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ ....

ගිණි අව්ව නිමිල කියල මෙතනින් අදහස් කරන්න මුලින් අන්තරා කොටසෙහි කියැවුන ඇල් හේන කියල යෙදුන පදයටම නෑකම් කියැවෙනා කොටසක්..
හේන් ගොවිතැන් අහවර වෙලා .. එක කන්නයක් සරුවෙලා ... ඉන් පස්සෙ එන වසන්ත සමයක් ගැන තමයි කියැවෙන්නෙ මෙතනින්..ඉන් පස්සෙ විවාහයක් ...ලස්සනට ලියැවුන සුන්දර සරල ගීයක් තමයි මේ...

මේ ගීයට සම්බන්ධවුන යෝධයන් දෙදෙනෙකුම අද නෑ..මුළින්ම ජනකාන්ත නළු විජය කුමාරතුංග.. ඔහු අකල්හිම ජාතියට අහිමි උනා...ඒත් ඔහු අප හැර ගියේ ජනප්‍රියත්වයෙහි හිනිපෙත්තෙ ඉදිද්දි නිසා ඔහුගේ නම , රුව කවදාවත් අමතක වෙන්නෙ නෑ...

ඒවගේම සරත් දසනායක..සමූහ වයලීන් වාදනයක් සිතාර් වාදන කොටසක් ඇහුනත් අපිට ඔහුගේ අනන්‍යතාවය හදුනාගන්න පුළුවන්..

මේ අය අතරින් දැනට මේ ගීයට හිමිකම් කියන අපට ඉන්න  ජීවමාන එකම හිමිකරුවානන් තමයි මේ ගීය ලියූ ගීත රචකයා..ඔහු තමයි ප්‍රවීන ගීත රචකයෙකු,  පුවත්පත් කලාවේදියෙකු , ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන " රොඩ්නි විදානපතිරණ..."  ගීයේ යට ගියාව ගැන කතා කරන්න හිතාගෙන අද උදේම කතා කලාම ඔහු මේ ගැන කීවේ මෙන්න මෙහෙමයි..

" ඔය ගීය ලියුවෙ අසූව දශකයෙහි මුල් කාලෙදි වගේ..සරත් දසනායක මගේ හොඳ මිත්‍රයෙක්..දවසක් ඔහු කීව සේන සමරසිංහ අලුතෙන් කැසට් එකක් කරනවා ඒකට සිංදුවක් ලියල දෙන්න කියල...ඉන් පස්සෙ මම සරත් දසනායක එක්ක ඔහුගෙ ගෙදරදි ඔය සිංදුව ලිව්ව..සරත් සර්පිනාව අරගෙන තනුවක් හැදුව..ඒකට මම එවෙලෙ බොරු වචන දාල ආකෘතික් ලිව්ව..ඉන් පස්සෙ ගෙදර ඇවිත් ඒ ලිව්ව බොරු වචන වලට ගැලපෙන වචන යොදල ඔය ගීතය නිර්මාණය කලා..."

" මට මතකයි ඔය ගීය පටිගත කරන වෙලාවෙ මමත් එතන හිටිය..ඒ කාලෙ විජය කුමාරතුංග හිරෙන් නිදහස් වෙලා ආපු කාලේ වගේ මතකයි...විජය ඒ දවස්වල හිටියෙ පුංචි බොරැල්ලෙ ගෙදරක..මමත් ඒ ආසන්නයේම බෝඩින් වෙලා හිටියෙ... විජයට ඒ කාලෙ ඩෙලිකා වර්ගයේ වාහනයක් තිබුණෙ..
ඉතිං පටිගත කිරීම ඉවර උනාම විජය මාව බෝඩිමටම ගෙනත් ඇරලුවා මතකයි.. අන්න ඒවගේ සුන්දර මතකයක් මේ ගීයට තියනවා. එදා සරත් දසනායකගෙ තනුවට එවෙලෙ බොරු වචන දාල හදපු මේ ගීතය අදටත් ඒ වගේම ජනප්‍රියයි ...

ඔන්න ඔය විදියටයි ගීතය ලිව්ව රොඩ්නි විදානපතිරණ මහතා මේ පිළිබඳව සිහිපත් කලේ...මේ වගේ අමරණීය ගීත කොච්චර තියෙනවද...ඒ ඇතුලෙ මේ වගේ සොඳුරු මතකයන් කොයිතරම් තියෙනවද...ඒ ගැන  හිතන්න ඔබට බාරයි...

- ජගත් ප්‍රසන්න කුරුගම -

No comments:

Post a Comment