Monday, September 19, 2016

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්ma




පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම් ....

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සලුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම් ....

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං .....



බිනර පෝය ගෙවිල දින දෙක තුනක් උනත් තාමත් ආකාසෙ හඳේ හැඩය අඩුවෙලා නෑ වගේ..පුන් පෝදා වගේම ලස්සනයි ...මේ හඳ දිහා බලාගෙන ඉන්නකොටයි මට මේ ගීය මතක් උනේ...
මොකද්දෝ කතාවක් නොතේරෙන ආරකින් සුන්දර වචන වලින් ලියැවිලා.. සමහර අය තනුවෙ ලස්සනට කටහඩේ ලස්සනට අහන්උන්නට සියුම් උපහාසාත්මක පහර දීමක් තියෙන ගීතයක් තමයි මේ...

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම් ....

මොකද්ද මේ කතාව...පුන් පෝදා සඳ අරන් එන්න කියනව..තරුමල් කඩල ගෙනත් දෙන්නම් කියනව...ඕව කරන්න පුළුවන් දේවලද..ඔබට එහෙම හිතේවි..මම කලින් දවසක් කිව්ව වගේ ලූෂන් බුලත්සිංහලයන් ව්‍යංග්‍යර්ථයෙන් මොකද්ද මේ ලියල තියෙන්නෙ...

තරුණියක් තරුණයෙකුට මෙහෙම කියනව..පුන් පෝදා සඳ කිව්වම් අපිට හැඟෙන්නෙ බොහොම පවිත්‍ර දෙයක් , පිරිසුදු දෙයක්..අන්න ඒ පිරිසිදු දේ  තරුණයට අරගෙන එන්න පුළුවන්ද කියල තරුණිය අහනව..එහෙම ගෙනාවොත් ඔහු ඉල්ලන , විමසන දේ දෙන්න පුළුවන් කියලයි ඇය කියන්නෙ ..තරු මල් කියන්නෙ ඔහු විමසන ඇයගෙ පිරිසිදු බව..හැබැයි ඒක පිලිගන්න්වන්න නම් ඔහුත් පුර හඳ වගේ චරිතවත් වෙලා ඉන්න ඕන ...

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සලුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම් ....

මුළු ගීතය පුරාම තියෙන්නෙ ඇය ඔහුට දාන කොන්දේසි ගොන්නක්..ඔබ දේදුන්නක් ගෙනාවොත් මම එයින් සළුවක් වියල ඔබ හා ඇවිදින්න එන්නම් කියන්නෙ ඇයයි..
ඇය ඔහුව දන්නව..ඔහුට කවදාවත් දේදුන්නක් ගෙන එන්න බෑ..මෙතන දේදුන්නක් කියල අර්ථවත් කරන්නෙ පිරිමියාගෙ පිරිසිඳු බව..ඔහු අන් අඟනන් ඇසුරු කරල නැත්නම් මගේ පිරිසිදු කම විමසන්න කියලයි ඇය නොකියා කියන්නෙ..

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං .....

ගීතයෙහි සමස්ත අර්ථයම ගම්‍ය වෙන්නෙ මෙතනදි..මානස විල මත පිපුණු සැනකින්ම පියුමක් අරන් එන්න පුළුවන්ද..මී මැස්සන් දකින්නත් කලින්...හරිම අපූරු උපමාවක්...කරන්න අමාරු කාර්‍යක්..
ඔබට බැහැ නේද... ඇය ඔහුගෙන් විමසනව.. එහෙනම් මොකටද නැවුම් පෙමකට වෙහෙසෙන්නෙ...ඔබ එහෙම් පියුමක් ගෙනාවොත් මම ඒ මලේම  උපදින්නම්...
ව්‍යංග්‍යර්ථ හැර ගත්තොත් මෙහෙමයි..

ඔබට ඔබේ පිරිසිදුකම ඔප්පු කරන්න පුළුවන්ද ?..බැහැ නේද..එහෙනම් ඇයි මගේ පිරිසිඳු බව හොයන්නෙ...මගේ පිරිසිදු කම හොයන ඔබ පිරිසිදු කෙනෙක්ද...

ඔන්න ඕක තමයි මේ ගීතය පුරාවටම සැඟවිලා තියන් අරුත..ගැහැනියගේ පතිවත විමසන සමාජයට ගැහැනියක් විසින් පෙරලා පහර දෙන ගීතයක් තමයි මේ.. පිරිමින්ගේ පිරිසිදුබව ගැහැනියක් විසින් ප්‍රශ්න කරන මේ ගීය ගයන්නෙ විශාරද මාලිනී බුලත්සිංහල විසින් එච් එම් ජයවර්ධනගෙ සංගීතයට...

මේ කරුණු හිතේ දරාගෙන ගීතය අසන්න ඔබට පුළුවන්ද ...කාලෙකින් ඇසුවෙ නැත්නම් ඔන්න අහන්න පහළින් link එකත් ඇති ..

jagathkurugama.blogspot.com

3 comments: