Monday, January 16, 2017

සුරංගීට දුක හිතුණා



සුරංගීට දුක හිතුනා
යටි තොල කනපිට හැරුනා
මුහුණ රෝස පාටින් පිරුණා
කදුළු පේලියක් වැටුනා ...

වැස්සක් අහසින් වැටුනා
ගඟට කදුළු බිඳු එකතු වුනා
කැළේ මැදින් ගඟ ඇඳුනා ....

ඒ ගඟ මුහුදට වැටුනා
මුහුදේ පතුලට කිඳුනා
මුතු බෙල්ලෙකු කුස රැඳුනා
දවස් ගනන් එහි තිබුනා
ඒ කදුලින් මුතු හැදුනා ....

මුතු කැට ගොඩට ගෙනා
කරාබු යුවලක රැදුනා
ඒ කරාබු ගෙදර ගෙනා
සුරංගීට දැන් හරිම හිනා ...

කණට තෝඩු පළදවනා
කණ් පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුනා
තාත්තාට දුක හිතුනා ...

 සිංහල ගීත අතර රැදි ළමා ගී කුලකයෙහි එන තවත් සුන්දර ළමා ගීයකි විශාරද  නන්දා මාලිනිය විසින් ගයන  ප්‍රවීණ ගේයපද රචක ප්‍රේම්කීර්ති ද අල්විස් විසින් රචිත සුරංගීට දුක හිතුනා යන අතිශය චිත්තාකර්ෂණීය මේ ගීය...
එදා ළමා ලෝකය සුන්දර කල මෙය චිත්තරූප ගොන්නක එකතුවක් ලෙස හැදින්වීමට පුළුවන්..මෙය හුදෙක් ගීයක්  පමණක් නොවේ...ළමා කතාන්දරයක්, ළමා චිත්‍රපට රූප රාමු පෙලක් ලෙස උවද ඔබට තීරණය කිරීමට පුළුවන් ..බලන්න අද මෙන් සුපර්මෑන්, ට්‍රාන්ස්ෆෝමර්, බෙන් 10 වැනි  ළමා මනස ඔලමොට්ටල කරන කසිකබල වැඩසටහන් නොවූ එකල නිර්මානයවූ මෙහි ඇති අලංකාරය...
වාසනාවකට මෙන් අපේ ළමා විය ගෙවී ගියේ එකලයි...එනිසා මේ සටහන තැබුමට මාද එය කියවීමට ඔබද මේ පිටුව නිර්මාණය කිරීමට නිර්මාපකයෝද ඉතිරි විය...ඒ කතා පසෙකට කොට දැන් ගීය දෙසට හැරෙමු.

සුරංගීට දුක තිතුනා
යටි තොල කනපිට හැරුණා
මුහුණ රෝස පාටින් පිරුනා
කදුළු පේලියක් වැටුනා ...

සුරංගි කියන්නෙ පුංචි ගෑණු ළමයෙක්...මේ බබාට කිසියම් හේතුවකට දුක හිතෙනව..සමහරවිට පුංචි රණ්ඩුවකට වෙන්න ඇති..ඇය හඩනව..
මුහුණ රතුවෙලා ,යටිතොල  කනපිට පෙරළගෙන හඩන දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති...

වැස්සක් අහසින් වැටුනා
ගඟට කදුළු බිඳු එකතු වුනා
කැළේ මැදින් ගඟ ඇඳුනා ....

එතකොට වැස්සක් වැටෙනව..ඇයගෙ කඳුළු මේ වැසි දියට එක් වෙනව.මේ වැසි දිය දැන් කැළේ මැදින් පහළට ගලාගෙන ගිහින් ගඟකට එක් වෙනව...ඊට පස්සෙ ගඟ දිගේ මුහුදට...බලන්න කොයිතරම් ලස්සනක්ද කියල...

ඒ ගඟ මුහුදට වැටුනා
මුහුදේ පතුලට කිඳුනා
මුතු බෙල්ලෙකු කුස රැඳුනා
දවස් ගනන් එහි තිබුනා
ඒ කදුලින් මුතු හැදුනා ....

මුහුදට ගලාගිය මේ කදුළු මුහුදෙ ඉන්න  මුතු බෙල්ලෙකුගෙ බඩේ තැන්පත් වෙනව..දැන මේ කදුළු වලින් මුතු බෙල්ලගෙ බඩේ මුතු හැදෙනව....

මුතු කැට ගොඩට ගෙනා
කරාබු යුවලක රැදුනා
ඒ කරාබු ගෙදර ගෙනා
සුරංගීට දැන් හරිම හිනා ...

දැනි පුංචි සුරංගිගේ කණ විදින දවස ලඟයි..පුංචි ගැහැණු දරුවන්ගේ කණ් විදින කාළය ඔබ දන්නව..ඒ නිසා අපෙ කතාවෙ කතා නායිකාවගෙ වයස ඔබට නීර්ණය කිරීමට පුළුවන්...
ඉතිං අර එදා ඇයගෙ නෙතින් වැටුන කඳුළු දැන් තියෙන්නෙ මුතු බෙල්ලෙකුගෙ බඩේ   මුතු බවට පරිවර්තනය වෙලා..
ඉතිං පුංචි සුරංගීගෙ කණට දාන්න ඇගේ තාත්ත කරාබු යුවලක් ගේනව.ඒ කරාඹු වලට අල්ලල තියන මුතු මොනවද දන්නවද...ඒ පෙර දවසක ඇගේම ඇස් වලින් ගලා ගියපු කදුළු වලින් නිර්මිතවූ මුතුයි....මේ කරාබු දුටුව සුරංගිට හරිම සතුටුයි..

කණට තෝඩු පළදවනා
කණ් පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුනා
තාත්තාට දුක හිතුනා ...

ඇය සතුටින් සිනාසෙනව....
ඒත් ඇයගෙ තාත්ත ටිකක් දුකින්..ඇයි ඒ..දියණිය කරාබු දැකල සතුටු උනාට ඒ කරාබු පළදවන්න ඇගේ සියුමැලි කන කටුවකින් විදින්න වෙනව..ඒක වේදනාකාරීයි...ඇයට රිදෙන එකට ඇගේ පියාට දුකයි..ඒ තාත්තලගෙ හැටි..තාත්තලගේ බැඳීම දුවලට වැඩියි..ඉතිං ඔහු දුක් වෙන්නේ ඒ නිසයි...

මේක තමයි මේ ගීයේ ගැබ්වුන කතාන්දරය...දරු සෙනෙහස විඳින ගමන් ඔබත් මේ ගීය රසවිඳින්න...
 සුරංගීට දුක හිතුනේ ඔහොමයි...'


- ජගත් ප්‍රසන්න කුරුගම -