Sunday, June 26, 2016

ගගනතලේ විමන් අරා ..



ගගනතලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා ....
දෑස කඳුළු දිය දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හද බැතිමන් පිරෙන තුරා
ඔබට වාසනා .....

කුංකුම අංජන තවරා
ආදරයෙන් බැළුම් හෙලා //
මා සමගින් පැතුම් පිරූ
ඔබට වාසනා ...

සඳ එළියක සිහිල පතා
හිරු ගිණිදැල් දවන තුරා //
වේදනාව මට හිමි මුත්
ඔබට වාසනා ...



ඔන්න ආයෙමත් අතීතයට යන්නයි හදන්නෙ...

චන්ද්‍රානි ගුණවර්ධන කියන්නෙ බොහොම දක්ෂතා ඇති අපට සිටිනා ප්‍රවීණ ගායිකාවක්..ඒවගේම බොහෝම රූප සම්පත්තියකුත් තිබුණ ගායිකාවක් .. ඒ කාළෙ ගුවන් විදුලියෙන් නිතරම ඇසුන මේ ගීය දැන්නම් නෑසෙන තරම්.. අතීතයෙ මතකයන් අවුස්සගෙන යද්දි මට හමුවුන ගීතයක් මේ...
බලන්න මෙය කීදෙනෙකුට මතකයිද කියල..හරියට හිතින් ළමා කාලයට ගිහිල්ල ඒ අතීතයෙහි මනසින් සැරිසැරුවහොත් මට වගේම ඔබටත් ඇයගේ පැරණි ගීත සිහියට ඒවි.

මතකය අවුස්සන්න අමාරුමනම් ඔන්න ඒකත් මමම මතක් කරල දෙන්නම්.

දඟකාරයි මං පොඩි කාලේ - ඒ වාගේ දෝණී මාගේ

ලොකු නැන්ද එනව ..නැන්දා එනව ..අන්න එනව අපේ දිහාවේ

තුං තුඹ මල් ..තුඹ මල් ..තුං තුඹ මල් රෙද්ද ඇඳල බණ්ඩි වළලු දෝත දරාලා

දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ..

රාං කුරුල්ලා රූං කියාගෙන කන්ද උඩින් වඩිතෙයි

විහාර මහ දේවී - සෝමා දේවී දුවේ නුඹේ නෑදෑයෝ

තිරික්කලෙන් බැහැලා අර

ලතා මඬුල්ලක් කතා කරනවා ( විශාරද එඩ්වඩ් ජයකොඩි සමග )

මල් කෙල්ලෙක් මං - මල් දෙන්නම් මං

ආදී ජනප්‍රිය බොහෝ ගීත හඳුන්වා දෙන්න පුළුවන්..ඒ වගේම ඔබට මතක් ඇති ඒ කාළෙ ගුවන් විදුලියෙන් සවස ප්‍රචාරය වුන " ළමා උපන්දින සුබපැතුම් " ( තවම ප්‍රචාරය වනවාදැයි නොදනිමි ) වැඩසටහන ..ආන්න එම වැඩසටහනෙහි තේමා ගීය ගැයුවෙත් ඇය විසිනුයි...ඒ මෙන්න මෙහෙම ,

" ආයුබෝවන් ආ.. වාසනාවන්
වාසනාවන් ආ... ආයුබෝවන්
ප්‍රීතිමත් සුබ උපන් දිනයක් හිමිවේවා..
ආසිරී වාදයෙන් දිගුකල් වැඦබේවා .."
මංගලම් ...
මංගලම් ...
මංගලම් ...

ඉතිං මේවගේ අපට සිටිනා ප්‍රවීණ ගායිකාවන් සැබවින්ම ජාතියටම මංගල කරුණක්ම නොවේද කියලයි මටනම් හිතෙන්නෙ ..

- ජගත් කුරුගම -

Saturday, June 11, 2016

ගීතයක් කියවීම




- මගේ ඉපැරණි පෙම්වතී -

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ
පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී .....

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාළයේ වැළිතලාවේ
සබඳකම් සැඟවුණාවේ ...

අතරමග සුනු විසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ ....
.


යන්තමින් පටන්ගත්ත වැස්ස මොරසූරණ වැස්සක් වෙන්න ඒහැටි වෙලාගියෙ නෑ...වැස්සෙන් බේරෙනන බස් නැවතුමට දුවගෙන එන සෙනඟ ටිකෙන් ටික වැඩිවුනා ....
ඒ අතරෙ තරුණ අම්ම කෙනෙක් පුංචි දුවෙකුගෙ අතින් අල්ලගෙන වැස්සෙම බස් නැවතුමට දුවන් ආව..
මගේ හිත අවුරුදු ගානක් ආපස්සට දිවගියා...
හරියට ඔබ වගේමයි...

මට ඔබ ගැන තියෙන්නෙ පාසල් මතකයක් විතරයි..රූපෙන් තවම ඔබ ඒ කාලෙ වගේ වෙන්නැති..රතුපාට ලංගම බස් එකේ ඔබ හැමදාම ඉදගනිපු දෙවෙනි පේලියෙ අසුනේ අදත් කවුරුන් හෝ ඉඳගෙන යනව ඇති..
ඔබ විවාපත් උනේ මටත් කලින්..මේ වගේම දුවෙකුට ඔබ අද මවක් ...
මේ  වැස්සට සමහරවිට ඔබත් කොහේ හෝ සිට තෙමෙනවද දන්නෙ නෑ...එදා වගේම අදත් ඔබව තෙමෙනවට මට ලෝබයි..ඒත් ඒ ඇයි කියන්න මම ම දන්නෙ නෑ...

අදනම් වැස්ස හිතට අරන් ආවෙ  දුක සතුට මුසු පාළු හැඟීමක්.බස් නැවතුමේ වහළෙන් වැටෙන වතුර තාර පාර දිගේ නිදහසේ කොහෙටදෝ ගලාගෙන යනව....

* රවී සිරිවර්ධනගේ පද පෙල
රෝහණ වීරසිංහගේ නද මුසුව ...

- ජගත් කුරුගම -

https://youtu.be/hoBohzltLX8

ගීතයක් කියවීම




-මන්නාරම් බස් එක-

මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර උනා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ...

සන්හිද ලග දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑපාන නිමෙයි
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රෑ කළුවර පමණයි....

වන්නි වනන්තරේ නිතර යුදගිණි ඇවිලෙයි
අම්ම නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි.....


කරුණාරත්න දිවුල්ගනේ ගේ ශෝකී ස්වරයෙන් ගැයෙනා මේ ගීය හිතට ගෙන ආවේ සියුම් වේදනාවක්..ඇතැම් විටෙක එය හඩා වැලපීමක් වගේ කියලත් හිතෙනව.. 

ගීතය පුරාවටම කුඩා දරුවෙකු හෝ දෙදෙනකු තම පියාගේ පමාව පිලිබද බියකින් පසුවන බවට ඉගියක් දනවනවා..
"පිරිත් කියා නතරඋනා රජරට සේවේ" සහ මන්නරනම් බස් එක"යන වදන් වලින් මේ ප්‍රදේශය පිලිබදව යම් සාධකයක් අපට පෙන්වව .. ඒ රජරට සේවයේ සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මකවන මන්නාරම් ප්‍රදේශයේ ග්‍රාමයක් විය යුතුයි ... බස් එක  අවසන් ගමන් වාරයේ නිරත එකක්...
කුඩා දරුවෝ අවසන් බස් රථයෙන් පියා පැමිනෙනතුරු බලා සිටිනවා..එහෙත් බස් රථය ප්‍රමාදයි ..
අප දන්නා පරිදි එකල රජරට ගුවන් විදුලිය රාත්‍රී 9.30ට පමණ හමර වුනා.ඒ කාළයේ පැවතුන වාතාවරණයත් එක්කල මේ ගීය අපූරුවට පෑහෙනව..

සන්හිද ලග දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑපාන නිමෙයි..

දේවාලයේ යාතිකා අවසන් වන්නේත් චෙට්ටියාර්ගේ කඩය වසන්නේත් මේ වේලාවේදීය."චෙට්ටියාර්ගේ කඩේ"යන යෙදුමෙන් මේ ප්‍රදේශය සිංහල,දමිළ මිශ්‍ර ගම්මානයක් බව පැහැදිලි වෙනව...

"නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි"
මෙම වදන් වලින් එය සද නැති රැයක් මෙන්ම එම සමජයේ ජීවත්වන්නන්ගේ අනාගතය පිලිබද අදුරු ස්වභාවයත් අප සිතට ගෙන දීමට සමත් වෙලා තියෙන්නෙ පුදුම විදියට..


"වන්නි වනන්තරේ නිතර යුදගිණි ඇවිලෙයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි.."

මෙම ගීතයේ ඉතාමත් හැගුම්බර හා ශෝකාකූලම කොටස මේයයි...මේ දරුවන්ගේ අම්මා නෑ ....සමහරවිට යුද්ධයට ඔවුන්ගේ මව ගොදුරුවෙලා වෙන්න ඇති..මව නොමැති මේ දරුවෝ හීනෙන් පවා බියවෙන්නෙ අපේ හිත් වලටත් ඒ හැඟීම ගලාගෙන එන විදියට .. ඔවුන්ගේ එකම ලෝකයනම් තම පියා පමණයි .ඔහුත් අද ප්‍රමා‍දයි.අම්මා නැති ලේන් පැටවුන් වන් දරුවන්ට තම පියාගේ පමාව මොනතරම්නම් දැනෙන්නට ඇත්ද...

"හීන දකින අප්පච්චී කළුවර නපුරුයි.."

දරුවෝ පියා එනතුරා අදුරු රැයේ බලා සිටිනව ...පියාට ඇති සිහිනයද තම දරුවන් විතරමයි ...නමුත් මේ සියළු සිහිනයෝ රෑ අහසමෙන් කළුවර වෙලා..මම ආයෙමත් හිතින් ඒ දරුවන් ලඟට ගියා ....

https://youtu.be/8V0nRoL97sM

- ජගත් කුරුගම -