Monday, November 14, 2016

මුහුද ලස්සනයි






මුහුද ලස්සනයි
මුහුද හරි ලොකුයි
හොහෝ හොහෝ හොහෝ
හෝව නතර වෙන්නෙ නෑ ....

රැල්ල ඇදෙනවා
වැල්ලෙ වැදෙනවා
සමන් මොට්ටු වගේ වතුර
බිංදු ඉහෙනවා .....

මුහුද ලස්සනයි
මුහුද හරි ලොකුයි
හොහෝ හොහෝ හොහෝ
හෝව නතර වෙන්නෙ නෑ ....


මුහුද කියන්නෙ කවදාවත්ම කතා කරල ඉවරකරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි...ඒකත් හරියට මුහුද වගේම විශාලයි..මේ මුහුද ගැන කියැවෙන මේ ගීතය මගේ සිහියට ආවෙ දවසක් අහම්බෙන්..ඊට පස්සෙ මම මේ ගීය ගැන හොයන්න ගත්ත .. වාසනාවකට වගේ එය අන්තර්ජාලයෙහි තිබිල හමුවුනා...ඉතිං ඒ මුහුද ගැන කියවෙන මේ ගීය ඔබත් එක්කල බෙදාගන්න ඕන කියල හිතුණ .. ඒ නිසාම ඔන්න මේ පිටුවෙ මේ ගීය පළකලා...

මුහුදේ වතුර බිංදු එකින් එක ඉහෙන හැටි රළ බිඳෙන හැටි පෙණ නගින හැටි මේ ගීතය අසද්දි මට දැනෙන්න උනා.... මුහුද කුඩා කාලෙදි ළමයෙකුගෙ මනසට මහා විශාල විචිත්‍ර හැඟුමන් උපද්දවන තැනක්..මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අපේ ගම කෘතියෙන් ළමයින්ගේ කෞතුක ලෝකයක් ගැන කියැවුනු පරිච්ඡේදයක් තිබුණ..මට මතක හැටියට ඒකෙනුත් කියැවුනේ ළමයින් සහ මුහුද ගැන...ඉන් පස්සෙ මට මතකයි කුලසේන ෆොන්සේකා මහතා ලියපු " කල්ලන්දූවේ මුතු කොල්ලය " කියන පොත.. ඒකෙත් ළමයින් සහ මුහුද පිළිබඳව අපූරු කතාන්දරයක් තිබුණ ...

කොහොම උනත් මේ මෑතකදි මුහුද සහ ළමයින් පිළිබඳව කියැවුනේ ඉන්දික ෆර්ටිනැන්ඩුගේ " හෝ ගානා පොකුණ " කියන චිත්‍රපටයෙන්..මේ හැම දෙයක්ම එකතු කරල බලද්දි හරියටම මෙන්න මේකයි කියල් කියන්න බැරි අරුම පුදුම ලස්සනක් සහ ආකර්ශනීය බවක් මුහුදෙ සැඟවිලා තියනවා කියල හිතෙනවා ...

මේ ගීය ගයපු ගායකය විදියට අන්තර්ජාලයෙහි සඳහන් වෙන්නෙ " ලලිත් කුමාර දවුන්දසේකර " කියල නමක්..අද ඔහු කොහේ කොතන ඉන්නවද දන්නෙ නෑ..ගීතයෙහි වයසත් එක්කල බලද්දි ඔහු දැන් වැඩිහිටියෙක් වෙලා ඇති..ඇතැම් විට මැදි වියේ....ඒ එච් පියසේන ලියූ මේ ගීය සංගීතවත් කලේ ඔස්ටින් මුණසිංහ..

හිතට පුංචි වේදනාවක් වගේ දැනෙන්නේ මේ සින්දුව අහපු මුල් කාලෙට ආයෙත් යන්න බැරි බව මතක්වෙන විටයි ...

- ජගත් ප්‍රසන්න කුරුගම -

Sunday, November 6, 2016

ගුරු අමරදේව



නිහඩ රැය සෙමෙන් ගෙවී යයි... ගහ කොල නිහඩවී ඇති හැඩයකි..සඳ හොරෙන් හෝ බලා ඇද්දැයි සිතේ...මේ රැයෙහි ඔබ ගැයූ සියළු ගී එකවී එක් ගීයක් අවකාශයට මුසුවී ඇති සැටියකි...ඔබ නික්ම ගොසින් තවම පැය 24ක් වත් නොමැත..

විකිපීඩියා විශ්වකෝෂයයට අනුවනම් ඔබට වයස අවුරුදු 89 කි..ඒත් මට ඊට වඩා ඔබව වයසයැයි හැඟේ.. ඒ ඔබෙන් රටට වූ සේවය මහාමෙරක් තරමව වූ නිසාවෙනි..මා මබට ඔබ තුමා නොකියමි.. මන්ද බොහො වැරදි කාර තක්කඩීන් ඔබතුමා නාමයෙන් අමතන නිසාවෙනී..ඒ නිසා පියාණෙනි ඔබට මම ඔබ යනුවෙන්ම අමතමි..

ඔබ ගැයූ ගීත සිහිපත් කිරීමක් හෝ ඔබ සෑදූ නාදමාලාවන් පිළිබඳව කතා නොකරන්නෙමි .මන්ද ඔබේ වියෝවත් සමග බොහෝදෙනා ඒ දෑ ඕනාවටත් වඩා සිහිපත් කරනා නිසාවෙනි.. ළමා අවධියේ සිටම මා ඔබට පෙම් කලෙමි..සිත රිදුනු තැළුනු වෙලාවක් වූයේද ඒ හැම තැනකම පිහිටට ආවෙ ඔබේ හිත කීරී ගැස්සූ කට හඩයි..මා මෙන්ම බොහෝ රස හිත් ඇත්තෝ ඔබව දේවත්වයෙහි ලා සැලකූහ...ඔබ ගයූ ගීත නිසරුවූ නිසරුන් මහ රෑ  බෑඟිරි ගසා ගයද්දී මා දෙසවන් වසා ඔවුනට සාප කලෙමි..එහෙත් ඔබ සැහැල්ලු සිනහවෙන් ඒ සියල ඉවසා සිටිනු දැක්කෙමි...

ජිවිතය මේ යැයි කියා ඔබ යන්නට ගියේය...මම සෝක නොකරමි..ඒ නිර්දය සිතින් නොවේ...ඔබ මේ මහපොලොව මත නිදහසේ ඉපදුනේය..මහත් කිස් පැසසුම් ලබමින් යෙහෙන් ජීවත් වූයේය...යහපත් දූ දරුවන් , යහපත් සංගීතයක් ලොවට දායාද කලේය...පරම ආයූෂ වින්දේය...ඔබට අකල් මරණයක් ලඟා නොවීය. බොහෝ පින්කම් කලේය...සිත් පරිදි සැදෑ සුව වින්දේය ...ඉතිං කුමට සෝක කරම්ද...ඇත්තේ එක ශෝකයක් පමණි..ඒ නැවතත් ඔබ සජීවී නොවීමය..ඒත් රස හදවත් ඇත්තන්ට මේ කල්පය තිබෙනා තුරා ඔබව මතක හිටිනා වස්තුවකි..
 නොමැකෙනා ලකුණකි..

මෙවේලෙහි මට එක් දෙයක් සිහියට නැගේ. ගීත යැයි කියා මෙලෝ හසරක් නොදත් කාලයේ සිට මා ඔබට බැඳුනු එක දෙයක් විය... ඒ අද මෙන් විසිහතර පැය විකාශන නොවූ කාලයේ උදෑසන හා රාත්‍රියෙහි ගුවන් විදුලි විකාශය අවසනෙහෙ ඔබ ගැයූ බුදු වදනයි...


“සබ්බ පා පස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං”

පියාණෙනි ඔබ මරණයට පැරදුනා නොවේ සොබාදහමට අවනතවුවා පමණි ...
සුබ ගමන්..

- ජගත් ප්‍රසන්න කුරුගම -
   2016 නොවැම්බර් 04 .