Friday, July 29, 2016

සාගරය පරදා උතුරා පුදුව පෙර දිනේ ..


සාගරය පරදා උතුරා
පිදුව පෙරදිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ ...
ඔබේ කතා මැකී ගියා ...

සිනමාහලේදී - උයනේ මගේදී
ප්‍රේම නගරයේ ..
අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදිවී
ආව නිහඬවී
අද මා යෙහෙළී .. ඔබගේ මිහිරී ..

පෙර මාගේ දෑතේ රැඳි දෑත ඇයගේ
දෑතෙ පෑහිලා
මල හා ජලාසේ විලසේ බැඳේවා
වේවි වාසනා..
දෙදෙනා සැරදේ ... ජයවේ ජයවේ ...



කමල් චිත්‍රසේන ගැයුව කෙලෙසද කිවමැන  සිපගත් දෑතට කියන ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය උනේ මේ දැන්..ඒ ගීය ගැන කල්පනා කරද්දි මට ඉබේම කල්පනාවට ආවෙ ඒ සිදුවීමම වෙනත් මානයක ඉඳල අත්විදින කාන්තාවක් විසින් තම ප්‍රේමවන්තයාට කියන ඉහත ගීතය..

ආදරය සෙනෙහස එක කෙනෙකුගෙන් තව කෙනෙකුට මාරුවෙද්දි තනි වෙන කෙනාට ඒක දරාගන්න අමාරුයි.. ඒකේ වඩාත්ම වේදනාත්මක සිදුවීම නම් තමන්ගෙ පෙම්වතා නැතිනම් පෙම්පතිය තමන්ගෙම යහළුවෙක් නැතිනම් යෙහෙළියක් සමග ආදරයක පැටලීමයි..
හිතන්නත් බැරි විදියට හිතක් වෙනස් උනාම සංවේදී හිතකට ඒක දැනෙන්නෙ  මහමෙරක් තරමට.. ගීයේ ඇතැම් පදවැල් ඔබත් මාත් හඩවන්නෙ බොහොම සියුම් විදියට.. තුන්වැනියාගෙ අවතීර්ණ වීම සිදුවෙන්නෙ සෙමෙන්..

අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදිවී
ආව නිහඬවී..

මොනව උනත් ඇය ඔවුන්ට වෛර කරන්නෙ නැහැ..ඒ වෙනුවට ඇය තමන්ගේ පරාජය බාර අරන් ඔවුන්ට සුබ පතනව..

දෙදෙනා සැරදේ ... ජයවේ ජයවේ ...

ඉහත ගීයට පාදක වෙලා තියෙන්නෙත් ඔන්න ඔය කතාවයි..ගීතය මේ විදියට හදවතේ සියුම් තැන් හඩවමින් ලිව්වෙ ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස්..

සාමාන්‍ය සිදුවීමක් උනත් ඔය කතාව කාන්තා පිරිමි දෙපාර්ශවයටම බලපානාවූ කතාවක් .. ඉන්ද්‍රානි පෙරේරා ගැයුව ප්‍රේමකීර්ති ද අල්විස් ලිවුව ඔය සිදුවීමම පිරිමියෙකුට බලපාපු අන්දම පස්සෙ කාලෙක ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දරයන් අතින් ලියැවෙන්නෙ මෙහෙමයි.

"කෙලෙසද කිවමැන සිපගත් දෑතට මංගල මල් කළබක් දෙන්නේ ..
එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාළිය වී  මගේම මිතුරාගේ..

ඊටත් බොහෝ කාළයකට උඩදි ඔය සිදුවීමම වෙනත් විදියකටත් ඔබට ඇහුන මතකද බලන්න.. ඒ හෙන්ද්‍රි කල්දේරාගේ හඩින් මෙහෙමයි..

" ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා ..

ගී පද රචකයන් තුන් දෙනෙකු එකම කතාවක් කියන්නෙ තුන් විදියකින්..එකකට එකක් ඔවුන්ගෙ නිර්මාණයන් වෙනස්..ඒ එකකවත් අනෙකාව කොපි කිරීමක් සිදුවෙලා නැහැ..ඉතිං ගීත තුනකට විෂය වෙච්ච මේ කතාවම තව කී දෙනෙකුටනම් සැබෑ ජීවිතයෙදි අද්දැකීම් වෙන්න ඇද්ද..

සාගරය පරදා උතුරා
පිදුව පෙරදිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ ...

ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකයන් ගෞරවයෙන් සිහිපත් කරන්නෙ මේ ගීය සංගීතවත් කලේ ඔහු නිසයි.

- ජගත් කුරුගම -

උදුම්බරා

- උදුම්බරා -

උදුම්බරා  කුමාරියේ
දමා නුඹව ඉවත යමී
දවසක වේදේහ රජුන්
නෙතු ගැටෙනා බවක් දනී
සැප සම්පත් ඇසුරේ රැඳි
පින්වත් නුඹ දුවකි සිරී
ආයෙත් සංසාරේ යලි
හමුවන්නට නොමැත බැරි..

හිමගිර තරමට වේද
මා නුඹ වෙත බැන්ද සෙනේ
ඉතිහාසෙන් මුවා වෙලා
කල වරදක තරම දැනේ
පින්ගුත්තර නමට ලොවේ
අවමන් එක්කල කාළය
කෙනෙකු වේද මේ මිහිපිට
දැනෙනා මේ සිත් සෝකය ..

උමංදාවෙ පඬිවරු හැම
දුටුවේ නුඹේ  සුදය ලඳේ
එනමුත් ඒ හැම  හදකම
මා ගැන පැහැදිලිය නොහේ...
බිමට කටු නොදා නික්මෙමි
සොඳුරේ නුඹ දිඹුල් ගසේ
හිතුනොත් බැසලා එනු මැන
පින්ගුත්තර  මමය නුඹේ  ...

- ජගත් කුරුගම -

Wednesday, July 27, 2016

මිහිලිය නළලේ අංජන තිලකේ



මිහිලිය නළලේ අංජන තිලකේ
සිරි ලංකා දෙරණේ
තිසරණ සරණින් භූ පාලනා
ජනතා දිනේ දිනේ ...
ජනතා දිනේ දිනේ ...

දන පිනන සසර සනරා වතින්
සත සිත ගත සැනසේවා
සඟ වෙද ගුරු ගොවි කම්කරු
බලඇණියෙන් සිව් දිග සැරසේවා ...

බුජ බල පලකල සුරු නර විරු කැල
යලි හෙලබිම ඉපදේවා
මුදු ගුණෙන් සුපුන් සඳ නැණින්
ගුරුන් ලෙද රන් දිව දිලිහේවා ...



මීට බොහෝමත් ඉස්සර කාළෙක පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කල දේශාභිමානී ගීතයක් තමයි මේ..මම දන්නව ඔබ අනූව දශකයෙන් මෙපිට ඉපදුනු කෙනෙකුනම් බොහෝ වෙලාවට මෙය අහලවත් නැතිව ඇති..අද අපේ රටේ මොනවහරි අපිට කියල දෙයක් ඉතිරි වෙලා තියනවනම් අන්න ඒ ගොඩේ අනිවාර්යයෙන්ම මේ ගීයත් තියෙන්න ඕනෙ..

අද අපේ රට පිට රටවල් වලින් ආපු නොයෙක් සංස්කෘතික දෑ වැලඳගෙන තිබුනත් ඉස්සර අපිටම කියල අපේ සංස්කෘතියක්, ආර්ථිකයක් තිබුණ.. සඟ , වෙද ,ගොවි ,ගුරු , කම්කරු කියන පංචමහා බලවේග එදා රට පෙරට ගෙන ඒමට විශාල බලපෑමක් කලා..විවෘත ආර්ථිකයෙන් බෙලහීන වූ ඒ ඉතිහාසය මට මතක් කලේ මෙන්න මේ ගීතයෙනුයි..

මෙතන දේශපාලනයක් නෑ..මේ ගීතය ඇත්තෙන්ම පණ්ඩිත් අමරදේවයන් විසින් ගයද්දි මොකද්දෝ මහ අමුතු හයියක් හිතට එනව .. මට මතක විදිය නිවැරදිනම් එතුමන් මේ ගීය ගායනා කලේ ජාතික උත්සවයකට..මම වැරදිනම් දන්න කෙනෙක් එය නිවැරදි කරන්න.

මගේ රට තරම් වටිනා රටක් වෙන කොයින්ද..තිසරණ සරණින් තවත් කල්ප කාලයක් මේ රට යහතින් තියෙන්න ඕන කියල ඔබත් ප්‍රාර්ථනා කරන්න..

පිළිවෙලකට පද පේලි එකතු කරල ගීතය ලීවෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්..වික්ටර් රත්නායකයන් ගෙ සංගීතයට මධුර මනෝහර ගායනය පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව ඇතුළු පිරිස...

- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

Friday, July 22, 2016

සඳ කිඳුරියනම් වෙන්නට බෑ මට..

සඳ කිඳුරිය නම්
වෙන්නට බෑ මට
ඔබ දන්නවාද හිමාලයේ
වතුරේ සීතල
මට සමාවෙන්න කිදුරෝ
සඳ කිඳුරිය නොවුනට ...
සඳ කිඳුරිය නොවුනට ...

පුළිනතලා නෑගම් වූ
දිය ඇලි පාමුල
වැළි ගොඩදාලා හැමතැනකම
රන් කහවනු වට
ලිය ගී මොකටද සඳ කිඳුරෝ
බෑ විකුණන්නට ...
බෑ විකුණන්නට ....

වස්කුළල් හඩට පය පැකිලෙයි
නටන්න බෑ මට
බරනැස් නිරිඳුට විවේක නෑ
වෙන දඩයමකට
සඳ කිදුරෝ දැන් පුරුදුවෙන්න
තනියම ඉන්නට ...
තනියම ඉන්නට ....



කොහේදෝ සිට ආයෙමත් සිතට ආව ගීයක්..එදා මෙදා බොහෝ දේ සිදුවෙලා ...කාළය වෙනස් වෙලා...
ඒ අතරේ මේ ගීය ආයෙමත් හොයාගෙන ඇහුව...

ශශිකා නිසංසලාගෙ හඬේ තියෙන්නෙ වරදකට සමාව ඉල්ලන තරුණියකගෙ හඬක්ද මන්දා ...
රැයක් ගෙවෙන තුරා කල්පනා කලත් මට මේ කතාවෙ මොකක් හරි සමීප බවක් දැනෙනවා ..කොහෙන්හරි මේ කතාව අපිට සම්බන්ධයි වගේ...
ඒ සඳ කිදුරා..සඳ කිදුරිය ...
 ඔබද ...මමද ..
කෝ එතකොට බරනැස් නිරිඳු ...

එක දෙයක් මට හොදටම මතකයි ..ඔව්..ඔබ එහෙම කිව්වා ...

සඳ කිදුරෝ දැන් පුරුදුවෙන්න
තනියම ඉන්නට ...
තනියම ඉන්නට ....

පුළිනතලා දොවාගෙන ගඟ තවමත් ගලනව ...

- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

Thursday, July 21, 2016

උපාසකයියා

 
  - උපාසකයියා -


උපාසකයියා දෙව්රම්
වෙහෙර ලග
අළුතින් දමපු දේවාලේ
ඇතුල් ගැබ
අඹ අන්නාසි කෙසෙලුත්
රස දොඩම් ගොඩ
මට සිහිකලේ ඒ පැත්තෙම
ඉරිද පොළ ...

ඊටම දෙවෙනි නැත
දෙවොලේ ඉදිරි පිට
පහනුත් මල් බුලත්
ගජරාමෙටම ඇත
බැරිවුනොතින් පිටින් ගත්තත්
දොසක් නැත
යාතිකාව හට පමණක්
ගෙවිය හැක ...

පූජා වට්ටි අඩුවට නම්
පන්සීයයි
තැඹිලිත් මල් වැලත් එක්කල
අටසීයයි
දාහක් දෙදාහක් දුන්නොත්
වැඩ සීයයි
මොනර පිළ් කළඹ නලලට
එක හීයයි ...

බුදු ගෙට කලින් යන්නේ
දැන් දෙවොල් ගෙට
ලොකු හාමුදුරුවන්ටත් ඒ ගැන
වගක් නැත
හවසට බිම් කුලිය දසමෙට
ලැබෙන විට
ඒ ගැන තවත් සෙව්මෙන්
ඇති පලක් නැත ...

එක දේවාලේ දෙක තුනවී
හතර  උනා
පෙරකදෝරු කාමර මට
මතක් උනා
උසාවි වටේ ඇති ඒවට
සමව මෙනා
දෙවිවරු නඩු අසති
ඒ තුල නොදෙති සමා ....

  - ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

Wednesday, July 20, 2016

බස් නැවතුම





         - බස් නැවතුම -

පියනගනතුරු අවට ලොව වෙත
නිති රැඳීඋන් තැන
පාසලට පන්තියට ගමනෙක
යන්න ලැතැවුන තැන
ගෙවෙන මේ ජීවිතේ  මහමග
සෙවණ සැලසූ තැන
ඉන්න අකමැති එකල සිතුමුත්
දැන් හොඳයි ඒ තැන..

අම්ම අප්පා දෙදෙන දෙගමන
ගියපු මහ දුර ‍තැන
බලා ආපසු කොළඹ එන්නට
නතරවී උන් තැන
වහල උළු කොට බිත්ති අතරින්
ඈත බැලු ඒ තැන
ඉවසීම ගැන මුල් අකුරු කල
හැමට පොදුවූ තැන ...

සුවඳ තැවැරුන හිතවතුන්ගේ
සිනහ ඉහිරුණු තැන
වසර ගනනක් පසුපසට ගොස්
ඇයව දකිනා තැන
ගම එපාවී ගමෙන් ආ දා
මා නොතැක ආ තැන
උපන්දා සිට ආව ගිය
හැමවෙලේ නැවතුනු තැන ..

මටත් දවසක යන්න වෙනයම්
තැනක් නැතිවන තැන
ගිමන් හරිනට ගිමන්හල වන
මාරගහ යට තැන
යද්දි අන් අය උනුන් රිය නැග
මම බලාඋන් තැන
දුටුව සිහිනෙක විගස මේ ලෙස
මතක් විණි ඒ තැන..

    - ජගත් කුරුගම -

Tuesday, July 19, 2016

නුඹ සහ නුඹ

           නුඹ සහ නුඹ 

අදත් වෙහෙසෙමි සොඳුරියේ
මා නුඹට ආදේශක සොයා
සරා ලොවතුල සෙවූවත් නැත
තවම මට එය හමුවෙලා ...

නගර මංමාවත් පුරා නෙක
නොයෙක් නෙතු මා පසුකලා
කාළයම යලි හරස්වී මට
නොයෙක්වර අවමන් කලා ...

ගෙවුණු පියවර ලකුණු සොයමින්
ගියෙද යලි නුඹ ලොවකරා
හදෙහි නුඹ - මුන ගැසුණු නුඹ
යන දෙදෙන මා අසරණකලා ...


 - ජගත් කුරුගම -

Sunday, July 17, 2016

හන්තාන දෙසින් එන



හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කරගන්නම් ...

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංගාව සෝකයෙන් වැලපෙනවා
මම තාම මහාවැළි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා ...

තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට හිතෙනා ...



හන්තාන දෙසින් එන සීතල සුළඟක් වගේ ගැයෙනා මේ ගීයට මම තවමත් ආදරෙයි ..නිකම්ම නිකං වචන වෙනුවට සොබාදහමත් එක්කල පරිසර සාධකත් එක්කල ගීතයක් ලිව්වම ඒ ගීයට ඉබේටම පණ එනව..ඉන්පස්සෙ සියක් ආයු ලබමින් මිනිස් සිත්වල ජීවත් වෙනවා..මේකත් ඒ වගේ ගීයක්...

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කරගන්නම් ...

ගීයෙහි එන ප්‍රධාන චරිතය තරුණයෙක්..ඔහුට අහිමිවුන හිතක් ගැන ගීය පුරාම දිගහැරෙනව..හන්තාන දෙසින් එන සුළඟ ඔබ තාම හොඳින් හදුනනවානම් කියලයි ඔහු කියන්නෙ..මෙතන " තාම " කියල විශේෂනයක් යොදල කියන එකේ තේරුම ඇය ඉස්සරත් මේ හන්‍තාන සුළඟ විඳල තියනව කියන එකයි..ඔහුත් ඇයත් දෙදෙන මේ පෙදෙසෙ ජීවත්වුන පෙම්වතුන්..සමහරවිට හන්තාන පෙදෙසට මායිම්වුන පේරාදෙණිය සරසවියෙ වෙන්නත් පුළුවන්..
මේ පාන ඔබේ සුරතින් දැල්වූ කියල ඔහු කියන්නෙ මේ ආදරයට මූලිකවුනේ ඔහු නොව ඇය බවයි..ඇය ඔහුගෙ හිත තුල දල්වපු පහණ අදටත් නිමෙන්න නොදී රැකගන්නයි ඔහුගේ ප්‍රාර්ථනාව..නමුත් අද ඇය නැහැ..ඔහු පමනක් ඒ පහණ සුරකිනව...පහණ යන සංකේතය ඇය ඔහුට පුදකල සෙනෙහසයි..

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංගාව සෝකයෙන් වැලපෙනවා
මම තාම මහාවැළි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා ...

මේ මහවැලි ගඟත් හරියට සංසාරෙ වගෙයි..ගඟකට ගලන්න කවුරුවත් කියාදෙන්න ඔන නැහැ..ඒක සංසාර පුරුද්දට ඔහේ ගලාගෙන යනවා..ඒත් ඔහුට ඇහෙන්නේ ඒ ගඟ සෝකයෙන් වැලපෙනව වගේ..ඔහු තවමත් ගං ඉවුර දිගේ හවසට යනව..මෙතන හවස යන්නෙහි අර්ථ දෙකක් තියනව..එක්කො ඔහු මේ පළාතෙම කෙනෙක් ..හැමදාම හවසට ඔහු මේ මාර්ගයෙහි යනෙන කෙනෙක්..එහෙම නැත්නම් හවස යනු ජීවිතයෙහි සැඳෑ කාළයයි..ඇය නොමැති සොවින් ඔහු මුළු දිවියම තනිව ගෙවනවා..දැන් ඔහු මැදි වයසෙ ...

තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට හිතෙනා ...

මේ කොටසෙදි මෙය මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන සිදුවූවක් බව පැහැදිලි වෙනවා..ඔහු තනිවෙලා දළදා පෙරහැර නරඹනවා..ඔහු හිතනව මේ සෙනග අතරෙ ඇයත් කොහෙට හෝ වෙලා පෙරහැර නරඹන ඇති කියල..මේ ගීතයට සමානව පස්සෙ කාළදි චාමර වීරසිංහ ගැයු " සරසවියෙ දොරටුව ලඟවත් නෑ " කියන ගීයෙත් මීට සමාන ලක්ෂණ තිබෙණවා..එහිදී ඔහු කියන්නෙ  " මග යන අය අතරේදී මා ඔබව සොයනවා.." කියලයි.

කොහොම වුනත් පේරාදෙණිය සරසවිය හන්තාන කන්ද , දළදා පෙරහැර වස්තු විදියට අරගෙන ගීතය ලිව්වෙ ගීත රචක සුදත් ගාමිණී බණ්ඩාර..විශාරද කපුගේ මීට සංගීතය එක්කලා ..කරුණාරත්න දිවුල්ගනේ විසින් ගැයූ මේ සංවේදී ගීය පහළ link එක ඔස්සේ අහන්න පුළුවනි.

Jagath kurugama @ facebook
jagathkurugama.blogspot.com
18/07/16

Saturday, July 16, 2016

ඔබ ආයෙමත් ඇවිදින්



ඔබ ආයෙමත් ඇවිදින් ...
සිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ...

උන්නුදා පෙර අත පොවන්නට
බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද
කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාළයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ....

දෑස අග මල් පිපී සැලුනත්
කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය
ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාළයේ
නෙත කදුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් ....

                     මහනුවර සිට කොළඹ බලා ඇදෙන සීග්‍රගාමී දුම්රිය පේරාදෙනිය හංදියේදී පසෙකට වී නතරවූයේ ඉදිරියෙන් එන දුම්රියට ඉඩ දීමටය..පරිසරය නිසලය...මීටර් ගනනාවක් ඉදිරියෙන් ඇති එන්ජිමේ හඩ යන්තමින් ඇසෙයි..

බොරපාට කමිසයක් සහ ඊටම ගැලපෙන කලිසමකින් සැරසුන තරුණයෙක් යාබද අසුනේ හිඳගෙන සිටියි...තැන්පත් පෙනුමකින් යුතු ඔහු කව්ළුවෙන් එපිට බලා සිටී...එක්වරම ඔහුගේ දුරකථනය නාද විය...අනුන්ගේ කතා ඇසීම නරක පුරුද්දක් වූවත් පරිසරය සැකසී ඇති පරිදි මට ඔහුගේ කතාව ඇසෙයි...

දුරකතනයෙන් අනිත් කෙලවරෙහි සිට අමතන්නේ තරුණියක බව වටහා ගැනීමට මට ඒ හැටි වේලා නොගියේය...
අනිත් අන්තයෙන් කතා කරණා දෑ මට නොඇසුනත් අනුමාන කරගත් හැකිවිය...

'හෙලෝ කව්ද ඔය ..?
......  .......
'ආ..මොකද්ද ..කවුද..?
 .....  ...... ....
ඔහු කලබල වූ බවක් පෙනේ..
'මම හිතුවෙ ආයෙ කවදාවත් මට කතා කරණ එකක් නෑ කියල ...
........ .......
'මම හිත හදාගෙන උන්නේ...ඇයි මේ ආයෙමත්..?

ඔහුගේ හඩ හැඟුම්බරය..
' මොකද නැත්තේ ඔයා මාව දාල ගියානෙ... එක පාරක් ගිය කෙනාට අයෙ යනඑක අමාරු දෙයක්‍ද..
.... ....... ......
' ඒත්....මම ගොඩාක් විදෙව්ව...

ඔහු වචනයෙන් නුරුස්සන ස්වභාවයක් පෙන්නුවද ඔහුගේ මුහුණේ ඇති සතුට මම හොදාකාරවම දුටුවෙමි...ඒ සතුට මගේ හිතටද කාන්දුවී ඇති සැටියකි...

ඔහු ඔහේ කියවයි...අතීත දේවල් ,අනුමාන ,නෝක්කාඩු ඒ අතර අඩු වැඩි නැතිව දෝරෙ ගලා යයි....

ජීවිතේ හැටි...හමුවීම්,වෙන්වීම්..ආයෙත් හමුවීම්...
දුම්රිය හෙමිහිට ඉදිරියට ඇදෙන්නට විය .....


- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com
jagath kurugama //facebook 

අම්මා

         
             - අම්මා - 

කැඩුණු  බිත්තියෙ පැරණි
මැටි මත
දුටිමි නුඹ අතැඟිලි සිහින් ..
වසර ගනනක් සැඟව හුන්
ඒ සලකුණක්
සොයමි මා අද අවදිවී
විත් මේ ලෙසින් ...
කිරි උරනකල සැපුණු මාතින්
කිරි කපද්දිත් කැපුණු නිතැතින්
දර කඩද්දීද රිදුන බෙහෙවින්
ගිලන් ඇඳ මත සොයපු විරියෙන් ...
එඅතැඟිලි අද සිඹිමි මා
අනේ මැටි බිත්තිය මතින්....
දැණුනි අද  මට එදා නොදැණුන
සෙනෙහසක් සටහන් තුලින් ...
හඩමි අද නෑසෙන්න මා
ඔබේ හිත නොරිදෙන ලෙසින්  ....
බලා සිටිනා බව දනී ඔබ
පමා  වූවත්  තවම  මං ..
පමා  වූවත්  තවම  මං ...

      - ජගත් කුරුගම -

Friday, July 15, 2016

සොඳුර නුඹ ලිහිණියක



සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඩන
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණ තටු පිරිමදින ...

අහිංසක අප දෙදෙන
තටු කඩා මේලෙසින
සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ..

කටුක දුක් විරහ මැද
අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....



ප්‍රිය විප්පයෝගයෙන් ඇලලී ගිය මිනිසෙකුගේ හැගුම්බර හඩ ආයේමත් ඇසී නෑසී ගියා..ජීවිතය මහමෙරක් තරම් බරවූ විට ඒ බර මදකට හෝ යටපත් කිරීමට හමා එන සුළඟක් ලෙසිනුයි නුඹේ සෙනෙහස මට දැනෙන්නෙ..එක්වී සිටින්නට පෙරුමන් පිරූ දෙහදක් සමාජයෙහි විශමතාවය මත් දෙතැනක වේදනා විඳිනා කතාවක්ද මෙය ..
නුඹත් මමත් ලිහිණියන් දෙදෙනෙකුද ....

විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීතය රචනා කලේ ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ..මේ ගීයෙහි යට ගියාව ගැන රත්න ශ්‍රී විජේසිංහයන් එක්තරා දෙසුමකදී සඳහන් කලේ මෙහෙමයි...

මම ගුරුවරයෙකු ලෙසට සේවය කරපු අසූව දශකයේ මුල් භාගයේදී එවකට පැවති රජය කිසිම හේතුවක් නැතිව මාව මොනරාගල අති දුෂ්කර පළාතකට මාරු කෙරුවා.. ඒ කාළයේ මා විවාපත්වූ අළුතයි.මගේ දුව ලැබුණා විතරයි.. ඉතිං මට ඔවුන් ඒ ප්‍රදේශයට රැඟෙන යාමට පුළුවන් කමක් තිබුණෙ නෑ..මම රටේ එක පැත්තක තනිවෙද්දි ඔවුන් රටේ තවත් පැත්තක තනිවුනා.. මට මේ තනිකම තදින් දැණුනා..

මට මතක උනා මයුර සංදේශයෙහි එන මේ කවිය .

ගසා කරින් සක්වා වෙන්කල පවින
නිසා පියඹ තුරු පිරිවර ගෙවින
සසා වෙසින් දොමු රස වෙයිනි එමදින
සසාදරවු බල පල ලද උදෑසන..

මේ කවියෙන් කියවෙන්නෙ සක්වාලිහිණින්ගේ රාත්‍රියෙහි වෙන්වීම..සක්වාලිහිණින්  දහවල් කාළයෙහි දෙදෙනෙකු වශයෙන් එකට වාසය කරනවා..රාත්‍රියෙහි සඳෙහි රශ්මියෙන් එම සතුන් දෙදෙන වෙන් කරනව... ඉන් පස්සෙ ඒ සක්වාලිහිණින් ගඟෙහි දෙපැත්තෙ ගස් දෙකකට වෙලා එලිවෙනතුරු මුහුණට මුහුණ  බලාගෙන හඩනව..මේක වෙන්නෙ සඳේ රශ්මියෙන්..මේ පව සඳට උදේට පල දෙනවා..සඳ උදේට සාවෙකුගෙ වෙසින් දුඹුරු පැහැවෙලා සැඟවෙනව..මෙහෙම වෙන්නෙ සක්වාලිහිණින් වෙන්කල පවෙන්..

ඉතිං මටත් හිතුණා මට උනෙත් සක්වාලිහිණින්ට සිදුවුන දේ කියල. ඉන් පසුවයි මාතින් මේ ගීය ලියැවෙන්නෙ...

අහිංසක අප දෙදෙන
තටු කඩා මේලෙසින
සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ..

මා මෙතනදි මයුර සංදේශ කවියා වගේ සඳට දොස් කියන්නෙ නැහැ..සඳ කුමක් කරන්නද..මෙය කෙටි කාලයකින් අපිට අහිමිවුන අපේ එක්ව සිටීමේ කාලයයි..මම එක් පසකත් මගේ දරු පවුල අනෙක් පසකත් තනිවෙලා.. හරියට ගග දෙපස වෙන්න්වුන සක්වාලිහිණින් වගේ ...


කටුක දුක් විරහ මැද
අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....

අපේ ජීවිත මේවගේ දුකක් මැද අතරමංවුනාට අපි හැමදාමත් අපිට ආදරෙයි..අපේ මේ දුක කවදාවත් අපේ දරුවනට විඳින්න දෙන්න ඕන නෑ.. කියාදෙමු අපි අපේ දරුවන්ට ජීවිතය ජයගන්න ඕන විදිය..
ඔන්න ඔය කතාවයි මම මේ ගීයෙන් ලිව්වෙ.. විශාරද කපුගේ ගීතය සංගීතවත් කරල ගැයුවා..

රත්න ශ්‍රී විජේසිංහ වියතාණන් ගීයෙහි අතීත කතාව ගෙනහැරපෑවෙ ඔය විදියටයි..මේ කතාව ඔබටත් මටත් ජීවිතයෙහි කොයිතරමට විෂය වනවාදැයි බලන්න..
සොඳුර නුඹ ලිහිණියක ..

ජගත් ප්‍රසන්න කුරුගම.

jagathkurugama.blogspot.com
14/07/16

Wednesday, July 13, 2016

අසුරු සැනින් එක මොහොතකදී ...



- අසුරු සැනින් එක මොහොතකදී -


අසුරු සැනින් එක මොහොතකදී
කාළය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑවී
ඔබේම කුළගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

සෙනෙහෙ විමානේ කිරුළ දරණ දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවණකදී හමුවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...




තාරුණ්‍යයේ අස්වැන්න ආදරයනම් එය පූදින්නට කාළයයි මේ...එය එසේනම් මේ ප්‍රාර්ථනාවද එයමැයි..දශක කිහිපයක් ඉක්ම ගියද කිසිදා වියපත් නොවෙනා ගීයකි මේ...කාළය අසුරු සැනින් වෙනස්වූවද රසවිඳීමක් එලෙසට වෙනස් නොවෙනා බවට කදිම උදාහරණයකි ශිල්පිණී යමුනා විනෝදනී ගයනා මේ ගීතය..

අසුරු සැනින් එක මොහොතකදී
කාළය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

ගීයෙහි තරුණිය තවම ආදර වන්තියක්ද නැතිනම් ආදරයක් සිතේ සඟවාගත් අයෙකුදැයි යන්න වරක සිතේ..මන්ද ගීතය පුරාම ඇත්තේ ප්‍රාර්ථනාවන් සමූහයකි.අසුරු සැනෙකින් කාළය නැවතී යලි ඇරඹෙනවානම් ... විශ්වය අළුතින් බිහිවෙනවානම් එදාට අපි අපේ වෙලා ඉපදෙන්න කියලයි ඇය පතන්නෙ..ඇයි ඒ කාළය වෙනතුරු ඉන්නෙ ...තවමත් ඇය ඇගේ ආදරය ඔහුට පවසල නැතුවාවක්ද...

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑවී
ඔබේම කුළගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

යෙහෙළියනුයි ඉඟි කරන්නෙ..ඒ ඉඟි දිනෙක සැබෑවක් වෙනවානම් කියල ඇයට හිතෙනව..මෙතනදී ආයෙමත් මුල් අනුමානයටම පැමිණෙනව..මොවුන් දැනටමත් පෙම්වතුන්නම් යෙහෙළියන් අමුතුවෙන් ඒ ගැන ඉඟි කරන්න ඕනෙ නැහැ..එහෙම යෙහෙළියන් ඉඟියෙන් කියන කෙනාගෙ මනමාළිය නැතිනම් පතිනිය වෙන්න මතු දිනකදි හැකිවේවායි ඇය ප්‍රාර්ථනා කරනවා...

සෙනෙහෙ විමානේ කිරුළ දරණ දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවණකදී හමුවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

මෙතන තමයි ගීතයෙහි ලස්සනම කොටස තිබෙන්නෙ..ඔයයි මමයි විවාහ වෙනව.. ඊට පස්සේ අපිට දරුවන් ලැබෙනව...
මේ සිදුවීම අමු අමුවේ නොකියා ඉතාමත් සෞන්දර්යාත්මක කියනා මටසිළුටු පදමාලාව බලන්න.. ඉතාමත් දිගු කතාවක් වචන හත අටකින් ගේය පදයක් බවට පත්වූ අපූරුව.. මෙතනදීත් ඇයගේ බලාපොරොත්තු පිරි ප්‍රාර්ථනයක්..

මම දවසකුත් කියපු විදියට සමාජයට සාමාන්‍ය වන පොදු කරුනක් ගීත රචනාවකදී සුවිශේෂීව ගීතයකට පෙරළිලා රටක් සනසන අරුමයනම් මෙයයි.. අසන්නාගේ සිත් වලට මහ මොකද්දෝ කිති කැවීමක් එක් කරමින් ගීතය ලීවේ ප්‍රවීණ නිවේදිකාවක් මෙන්ම ගේය පද රචිකාවියක් වන කුසුම් පීරිස්..

ගීතයට https://youtu.be/IepL90Sj__o


- ජගත් කුරුගම -
Jagath kurugama @ facebook
11/07/16

Saturday, July 9, 2016

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය



වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ලවැළි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැඟෙනා ... හෝරාවේ ...

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා ....

දොරඟුළු හැරලමු අපි දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ ....



නිවාඩුවෙ ඉන්න හින්ද  කියවන්න පොතක් අතට ගත්ත..පොතේ නම තමයි " පියැසි කවුළුව " . මේ පොත ලියල තියෙන්නෙ ප්‍රවීණ ලේඛකයකු , නාට්‍ය කරුවෙකු පුවත්පත් කලාවේදියකු මෙන්ම අපට සිටින ප්‍රවීණ ගේය පද රචකයෙකු වන  " කපිල කුමාර කාලිංගයන් විසුනුයි..

ඔහුගේ ලේඛන ශෛලිය මෙන්ම ගීත රචනා ශෛලිය ගැනත් මා බෙහෙවින් ප්‍රිය කරන නිසාවෙන්ම මා ඔහුට කතාකලා ..පොත ගැන කතා කරද්දි කවදත් ගීත වලට ඇළුම් කරන නිසාදෝ ඉබේටම මාතෘකාව පොත් වලින් ගීත වලට හැරුණා..
ඉහතින් දක්වා ඇත්තෙ කපිල කුමාර කාලිංගයන් අතින් ලියවුණු මධුර මනෝහර ප්‍රේම ගීයක්..අපි ඒ ගැන කතා කලා ...

ඔය ගීතය ලියැවුනේ අසූවෙ මුල් භාගයේදි විතර..ඒ කාලෙ ගුවන් විදුලියෙ වැඩසටහනක් තිබුණ " සොඳුරු සෙවණ "  කියල..ඒක ඇතුලෙ " කල්පනා ගීතය " කියල ගායකයෙකුගෙ පොඩි ගීතමය වැඩසටහනක් තිබුණ..මෙය සජීවී ප්‍රචාරයක්..ඒ සඳහා එඩ්වඩ් ජයකොඩිට ගීයක් ඕන වෙලා තිබුණ .. " වසන්තයේ අග "  මා අතින් ලියැවුනේ එඩ්වඩ් ට මෙයට සජීවීව  ගයන්නයි..එඩ්වඩ් මේ ගීය එදා ගිටාර් එකක ආධාරයෙනුයි ගැයුවෙ..කොහොමහරි ඊට වසර දෙකකට පමණ පසු එඩ්වඩ් මේ ගීතය ඔහුගෙ කැසට් පටයක් සඳහා පටිගත කරල මට පණිවිඩයක් එව්ව  " අන්න ඔයාගේ සිංදුව මම කැසට් එකකට කිව්ව අහන්න " කියල...
මේ ගීය ඇත්තටම හරිම වාසනාවන්ත ගීතයක්..දශක තුනකුත් ඉක්මවූවත් අදටත් හරිම ජනප්‍රියයි...

ඔබගේ මුල්ම නිර්මාණය මතක් කලොත්....මගේ පැනයට කපිල කුමාර කාලිංගයන් පිළිතුරු දුන්නෙ මෙහෙමයි..

මම ඉස්සර වේදිකා නාට්‍ය කලා..ඒ නාට්‍ය වලට ගීත ලියුවෙ මමමයි..ඉතිං මට ඒ කාලෙ තේරුම් ගියා මට ගීත ලිවීමේ හැකියාවක් තියෙනව කියල..ඒ කාලෙ ගුවන් විදුලි සරල ගී ගායකයෙක් සිටිය නවරත්න අබේකෝන් කියල..ඔහුටයි මුලින් ගීතය ලීවේ..හැබැයි එය ජනප්‍රිය වුනේ නැහැ..
මම පදිංචිවෙලා ඉන්නෙ මහනුවර කටුගස්තොට ( අදටත් ) නිසා කොළඹත් එක්කල තියන ගණුදෙනු සීමිත උනා..ඔය කාලේ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් විදුහලේ ගුරුවරයෙක්...සංගීතය කලාට ඔහු එම පාසලේ චිත්‍රකර්ම ගුරුවරයා..ඔහු " සුජාතා අත්තනායකට " ගීත හතරක් කරමිනුයි ඒ දවස්වල හිටියෙ..ඉතිං ස්ටැන්ලි පීරිස් මහතා මටත් ඉන් එක් ගීයක් ලියාදෙන්න කියල කිවුවා..මගේ ඉහේ මලක් පිපුන වගේ දැණුන ..මොකද එවකට මම අවුරුදු දහ අටක තරම් ආධුනිකයෙක්..සුජාතා අත්තනායක කියන්නෙ ප්‍රවීණ ශිල්පිනියක්. .එදා මම සුජාතා අත්තනායකට ලිවූ ගීය තමයි " දෑසේ අංජන තවරා නෑ " කියන ගීතය..

ප්‍රවීණ ගේය පද රචක කපිල කුමාර කාලිංගයන් තම අතීතය පිළිබඳව මතක් කලේ එහෙමයි..කාළයක් ලක්බිම පුවත් පතෙහි සේවය කොට දැන් එයින් ඉසිඹු ලැබ සිටිනා ඔහු මේ දිනවල ඔහුගේ නවතම නාට්‍යයෙහි කටයුතුවල නිරතවෙමින් සිටිනා බවයි පැවසුවේ ..එමෙන්ම ඔහු ලියූ සියළු ගීත ඇතුලත් පොතක් නුදුරේදීම එළිදැක්වීමට බලාපොරොත්තු වන බවකුත් සඳහන් කලා...ඔබ වැනි විශිෂ්ඨ ගණයේ ගීත රචකයත් සැබවින්ම රටට වාසනාවක්...

ඔබට දිගාසිරි වේවා ..!

- ජගත් කුරුගම -