Friday, August 26, 2016

මේ ගඟ මේ දුරු කතර ගෙවා



මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර උනේ ...

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලින් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ ...

මේ විස කටුගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ ...


අහන්න අහන්න ඇතිවීමක්නම් නොමැති ගීත අතරේ මේ ගීයත් හදවතට ගොඩාක් සමීපයි..ආදරය විරහව වගේ පොදු මාතෘකා වලින් කොයිතරම් ඇසුනත් හොඳ ගීයක හැමවෙලාවකම මොකක් හරි පෙර නොදැනුන ගතියක් නැවත ඇසෙද්දි දැනෙනව.  මේ ගීයත් ඒවගේද...ඔබට මොනවද හිතෙන්නෙ..මටනම් හිතෙන්නෙ මෙහෙමයි...
ගීතයක් ලියන්න මොනවගේ හේතු කාරණා තිබුණත් ඒව විඳගන්න පුළුවන් එක එක හැඩතල වලින්...මේ ගීයෙ තිබෙන එවන් එක් හැඩතලයක් තමයි මේ...ගීත රචකයානෝ මෙය මොන අරමුණකින් ලීවත් මගේ එක්තරා හිතවතෙකුට මෙය අදාල වෙලා තිබුණේ මේ විදියටයි...ගීතයක් තමන්ගේ අත්දැකීම් වලින් විඳින්න හැමෝටම අයිතියක් තියන නිසා මේ ගීය කෙනෙකුට සමීපවුන අයුරුයි මේ..

 මේ කතාව දෙදෙනෙකු වටා නොව තිදෙනෙකු වටා එතෙන කතාවක් ..
තරුණියක් ..ඇයගේ හිමිකරු සහ ඇයගේ ප්‍රේමවන්තයා මෙහි චිත්‍රනය වෙනවා..

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර උනේ ...

මෙතනදි කතාව ඉතාම සරලයි..ගඟක් බොහෝ දුර ගෙවාගෙන ගලාගෙන ඇවිත් අවසානයෙහි මුහුදට එක් වෙනව..මේ තරුණියත් ඒ වගේ.. ජීවිතයෙහි බොහෝ දුර ගෙවූ ඇය අන්තිමට ඔහු ලඟ නතර වෙනවා ..ඉතිං එහෙම උනු එකේ වරදක් නැහැනේ කියල ඔබට හිතේවි..ඒත් ඊළඟට ..

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලින් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ ...

ඊළඟටත් එහෙමයි..නිල් දිය මත මල් පිපිලා..හරියට ජීවිතය වගෙයි..සමහරවිට ඇයගෙ ජීවිතයත් නිල් දිය පිරුණ විලක් වගෙයි...ඇය මෙහෙම අසනව..ඇයි ඔබ ආදර මල පිපුනේ කියල..
මෙහිදි කියන්නෙ " ඇයි ඔබෙ ආදර මල " කියල නෙමෙයි.. " ඇයි ඔබ ආදර මල " කියලයි...
මෙතන ඇය ප්‍රශ්න කරන්නෙ ඔබ නැමති ආදර මල මගේ සිතෙහි නැතිනම් හද විලෙහි පිපුනේ ඇයිද කියලයි...ඇත්තෙන්ම ඒක ප්‍රශ්නයක් උනේ මෙහෙමයි..

මේ විස කටුගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ ...

ඔන්න මුළු ගීතයෙම තියන කනස්සල්ල නැතිනම් අහිමි වීමක , නොපෑහීමක සිදුවීම කියැවෙන්නෙ මෙතනදියි..මල් වැල කටු ගසකයි එතිල තියෙන්නෙ...කටු ගස හරි විසයි.. සැරයි...අමනාපයි..ඒත් මල් වැල එතිල තියෙන්නෙ ඒ කටු ගසේ..දැන් මල් වැලට ආයේ ඒ  කටුගසෙන් ලිහිල එන්න බැහැ..ඒ කටුගස තමයි ඇයගෙ හිමිකරුවානන්.. මල් වැල තමයි ඇය..

ඇය අසනව..  කාගෙන්ද.. ඇයගේ ආදරවන්තයගෙන් මෙහෙම..
ගිලිහී යන්නට ඔබෙ සුරතේ ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ...
තේරුම් ගන්න මෙතන තිදෙනෙකුගේ අතැඟිලි තිබෙනවා...මගේ අතැඟිලි බැඳිල තියෙන්නෙ මගේ හිමිකරුට...ඒ නිසයි මට ඔබේ ( ප්‍රේමවන්තයාගේ ) සුරත ගිලිහෙන්නෙ . ඇය සිතින් ඇයගෙ පෙම්වතාට ගොඩක් ආදරෙයි..ඒත් ඇය විවාහකයි..ඇයට අසරණයි...විස කටු ගසෙන් බේරිලා ඔහු ලඟට එන්න ඇය සිතින් පතනවා...

ඔන්න ඔය මේ ගීයේ තිබෙන එක් හැඩතලයක්..
සුමියුරු ගී හඩ ශිල්පිනී නිරංජලා සරෝජනී ...පදමාලාව ලූෂන් බුලත්සිංහල  ..සංගීතවත් කලේ එච් එම් ජයවර්ධන ..

ගීයත් එක්කල ඔබටත් හිතන්න ගොඩාක් දේ තියනව කියලත් දන්නවා..

jagathkurugama.blogspot.com

Wednesday, August 17, 2016

ලොකු හාමුදුරුවො උදෙන්ම නුවර ගිහින්


ලොකු හාමුදුරුවො උදෙන්ම
නුවර ගිහින්
දළදා වැදලා එනකොට රෑ බෝවෙයි ..
ඊයේත් හීනෙන් නංගිත් එක්කල
නිදාගත්තෙ අම්මගෙ තුරුළේ මං
එතකොටනම් අම්මේ ...
මහණ වෙලා නෑ මං ....

තාත්ත වාගේ ලඟින් තියාගෙන
පුංචි පුංචි බණ කතා කියනකොට
මේවගෙ තනියක් දැනෙන්නෙ නෑ මට
ලොකු හාමුදුරුවෝ
ලඟින් ඉන්නවා නම් ...

නංගීත් එක්කල ඔට්ටු දුවන්නට
තාත්තගේ කර පිට නැග යන්නට
අම්ම අතින් බත් කට කට කන්නට
අද වගෙ දවසක
ගෙදරින් එනවා නම් ....



( දැනට විකාශය වන "සිඳූ " ටෙලිනාට්‍ය නරඹන විට මීට ටික කාලයකට ඉහත මවිසින් තැබූ මේ සටහන නැවතත් ඔබවෙත ගෙන ඒමට සිතුනා ..)

 හැමදාමත් එක වගේ ගීත ගැන ලියනඑකේ වෙනස් අයුරක ගීයක් ගැනයි මේ කතාව...මේ සටහන ලියන්න කලින් මේ ගීය ඇසුවම මම ගොඩාක් සංවේදී උනා...මම විතරක් නෙමෙයි හදවත් ඇති ඔබත් ඒවගේම වෙයි....
එහෙම වෙන්නෙ මේ ගීය සැබැවින්ම සාර්ථක නිමැවුමක් නිසයි...

ලොකු හාමුදුරුවො උදෙන්ම
නුවර ගිහින්
දළදා වැදලා එනකොට රෑ බෝවෙයි ..
ඊයේත් හීනෙන් නංගිත් එක්කල
නිදාගත්තෙ අම්මගෙ තුරුළේ මං
එතකොටනම් අම්මේ ...
මහනවෙලා නෑ මං ....

කතාවෙන් කියැවෙන්නෙ පුංචි සාමනේර නමකගෙ සිතුවිලි ගොන්නක්...ලොකු හාමුදුරුවෝ දළදා වදින්න නුවර  ගිය අතරෙ උන් වහන්සෙ පන්සලේ තනි වෙනව..සිවුරු දරා උන්නත් ඒ සිවුර ඇතුලෙ ඉන්නෙ ඔබේත් මගේත් වගේම සුරතල් දරුවෙක්....
මේ දරුවගෙ සිතට  හුදකලාවත් එක්කම සිය නිවස මතක් වෙනව..සංසාරෙ දුක අවබෝධය කරන් මහනවෙනව වගේ නෙමෙයි පුංචිම කාලෙ මහනවුනාම..ළදරු හිතට තනිකම තදින් දැනෙනව...
සිතන්න මේ ඔබේ දරුවා උනානම්...

ඊයෙත් නිවසේ ඉන්න නැගණියත් එක්කල ඔහු සිහිනෙන නිදාගන්නව අම්මගෙ තුරුළෙ...ඒත් ඒ මහණ වෙන්න ඉස්සර...
සංවේදී වියයුතු තැන්වල අපි හැමෝම සංවේදී කරන්න ගීයට හඩ දෙන ' හර්ෂන දිසානායකගෙ ' කටහඩ සමත් වෙලා ..

තාත්ත වාගේ ලඟින් තියාගෙන
පුංචි පුංචි බණ කතා කියනකොට
මේවගෙ තනියක් දැනෙන්නෙ නෑ මට
ලොකු හාමුදුරුවෝ
ලඟින් ඉන්නවා නම් ...

මේ ලොකු හාමුදුරුවෝ පුංචි හාමුදුරුවන්ට හරිම ආදරෙයි...ගිහි ජීවිතයෙන් වෙන්කරල පැවිදි දිවියට ආවම අහිමිවුන පිය සෙනෙහසේ අඩුව පුරවන්න ලොකු හාමුදුරුවෝ සමත්වෙලා තියෙනවා...අද උන් වහන්සේ නැති උනාම දැනෙන පාළුව පොඩි හාමුදුරුවන්ට තදින් දැනෙනබව අපිටත් දැනෙනව...

නංගීත් එක්කල ඔට්ටු දුවන්නට
තාත්තගේ කර පිට නැග යන්නට
අම්ම අතින් බත් කට කට කන්නට
අද වගෙ දවසක
ගෙදරින් එනවා නම් ....

ඒ පුංචි හිමියන්ගේ  සිතුවිලි මොනතරම් අවිහිංසකදැයි බලන්න..පැවිදි දිවියේ අකැප දෑ හිමියන් දනී..නමුත් ළමා සිත ඒ අදහස් පරයා නැගී සිටී..විනය නීති ලොකු කුඩා කාටත් සමානය..නංගිත් එක්කල සෙල්ලම් කරන්න,තාත්තත් එක්කල සුරතල් වෙන්න ,අම්මට කියල බත් කවා ගන්න ලපටි සිත ආශා කරයි...ලොකු හාමුදුරුවන් ඉන්නා තැන ඒවාට සීමා ඇත..නමුත් අද ලොකු හාමුදුරුවන් නැත.ගෙදරින් එනවානම් ඒවාට හොදම දවස අදය...

මේ ගීතය ගයන හර්ෂන දැන් තරුණයෙක් නිසා ඔහුගේ මේ සිඟිති කටහඩ නම් දැන් නෑ...ඒත් මේ කතාවෙ එන සාමනේර හිමිවරුනම් ඔබේ පන්සලෙත් තවම ඉන්නවා නේද ...

- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

Monday, August 15, 2016

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ ..



ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ ...

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යයි දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ ...
සෝබන මේ නදියේ ....
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ ...

ඇල් කෙතකින් එන
දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ ....
කවුරුද ඇල්හේනේ ...
කවුරුද ඇල්හේනේ ....
ගී හඬ පතුරන්නේ .....



සඳරැස් පායල ලස්සනට පරිසරය අලංකාර කරන වෙලාවක නිසංසලේ අහන්න පුළුවන් ගීතයක් තමයි මේ..අද තරමක් දුරට වැඩිපුර නෑසුනත් කාළයක් සෑම වෙලාවකම ඇසුන ජනප්‍රිය ගීයක් ලෙසට මෙය හඳුන්වන්න පුළුවන් ..සොබාදහමේ අපූරුවූ චමත්කාරය මනාව අපගේ හිතට කාන්දුකරවන්නාවූ මේ ගීය නිසසල රැයක දෑස පියාගෙන අහන්න ඇත්නම් මොනතරම් සිසිලසක් සිතට දැනෙනවද ...

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ ...

මේ කතාවෙන් අපට කියවෙන්නේ රාත්‍රියක්..මේ වෙලාවේ ලෝකය අඩ නින්දේ..නැතිනම් ලොවෙන් අඩක් නින්දේ..මේ දෙයාකාරයම ගීතයට ගැලපෙනව..අඩ නින්ද ඒ කියන්නෙ මහා රාත්‍රියම නෙමෙයි සමහරවිට රෑ නවයට විතර...ඒ එක අනුමානයක් ..අනික තමයි රෑට මිනිසුන් නිදිය ගත්තත් සමහර සතුන් අවදියෙන්..රෑට කොටසක් නිදිය ගත්තත් අනිත් අඩ වදියෙන්..මේ  කරුණු දෙකම ගීතයට සාධාරණයයි..මේ වෙලාවෙ සඳ රැස් වතුරට වැටිල...ආකාසෙ මල් පිපිල වගේ තරු බැබලේනව..හරිම මනස්කාන්ත දසුනක්...

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යයි දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ ...
සෝබන මේ නදියේ ....
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ

ඔන්න මේ කොටසින් අර සඳරැස් වැටිල බැබලෙන්නෙ ගංගාවකට කියල අපට පැහැදිලි වෙනව...ගඟ දෙපස කිරළ ගස් වැවිලා..ඒ කිරළ ගස් වල ගෙඩි වතුරට වැටිලා පාවෙලා යනව...මේ රැයේ අඩ අඳුරත් එක්කල සිහිල් සුළගක් හමනව.. ඒ සුළගට පිපුන නාමල් සුවඳක් එකතුවෙලා ..ඔබ දෑස් පියාගෙන මේ දේ විඳින්න..ඒ සිහිල ඒ සුවඳ ඔබට දැනෙනව ඒකාන්තයි..මෙයම තමයි සාර්ථක ගීතයක ස්වභාවය...

ඇල් කෙතකින් එන
දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ ....
කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ .....

මෙතනදි මම අර මුලින්ම කීව කාළනීර්නයෙහි මුල් කරුණට ගීතයෙහි වැඩි නැඹුරුවක් දක්වනව..
ඇල් කෙතකින් එන දැරියකගේ ගී හඩක් ඇහෙනව..  ( ඇල් හේනක් කියන්නෙ අළුතින් අරඹපු හේනක් ) සමහරවිට පැල් කවියක් වෙන්නත් පුළුවන් .. මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඩ කිව්වත් මහ රාත්‍රියක් නම් මෙසේ දැරියකගේ හඩක් එන්න විදියක් නැහැ..එහෙනම් මෙතන තියෙන්න ඔන මධ්‍යම රාත්‍රියට මෙහා හෝරාවන් කිහිපයක්..

ඇත්තටම මනාව සිතට කාවදින අන්දමේ අපූරුවූ මිහිරි ගීයක් තමයි මේ..ඔබ දන්නව මේ ගීය ගායනා කරන්නෙ අපේ රටේ සිටි ප්‍රවීණ ගායන ශිල්පියකු වු සී ටී ප්‍රනාන්දු නැත්නම් සිරිල් ටියුඩර් ප්‍රනාන්දු විසින්..අපූරු වදන් යොදා ගීතය ලිව්වෙ ඒ කාලෙ සිටි ගේය පද රචකයෙකු වූ සුනිල් සේනාධීරයන් විසින්..සී ටී ප්‍රනාන්දු මහතාම තමයි මෙයට තනුව නිර්මාණය කලෙත්..

සී ටී ප්‍රනාන්දු ගැන කෙටියෙන් සඳහනක් කලොත් සිංහල සංගීතය වෙනස් මගකට හැරවු පුද්ගලය්න් කිහිප දෙනාගෙන් එක් අයෙක් තමයි සී ටී.. ඔහුගේ විශේෂත්වයක් තමයි බටහිර ආරෙ රිද්මයන් යොදාගෙන ගැමි ආරේ ගීත ඉදිරිපත් කිරීම..ඔහුගේ බොහෝ ගීවල තිබුනේ ගැමි සමාජයේ දකිනට ලැබෙන චරිත ගීතයට නැඟීමක්..ඒවාගෙම අපිට ගැලපෙන නිමවුමකින් යුතු හැඩතල ඒ බොහෝ ගී වල තිබුණා.. එමෙන්ම ඔහුගේ බොහෝ ගීවල තිබුණේ සොබාදහම් වර්ණනා .. එකසිය හැත්තෑ පහක් පමනවූ ඔහු ගැයූ ගීවල වැඩි හරියක ගී තනු ඔහුගේම උනා..ඒවගේම මුලින්ම විදේශයකට ගොස් සංගීත සංදර්ශනයක් පැවැත්තූ පළමුවැන්නාත් ඔහුයි..

1921 ජනවාරි 28 වෙනිද ඉපදුන මේ ශ්‍රේෂ්ඨ  ගායකයානෝ 1977 ඔක්තෝබර් 17 නිදා ජාතියෙන් සමුගත්තත් ඔහු සිංහල ගීයට එක් කල අභිමානය කවදාවත් මිය යන්නෙ නැහැ..

- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

Sunday, August 14, 2016

ඉන් පසු.



- ඉන් පසු -

කවදාද ඔබ ආයේ
දකින්නේ පෙර වගේ
හීන් සීරිපොද අහස
හඩනවද මේ උදේ
මට තාම අමතකව ගියේ
නැති මතකයේ
එපා ආයෙත් එන්න සුවඳ
පෙරදා  ඔබේ ...

සිත නැමති මතක පොත
කොහේදෝ දුර ඈත
සිට සෙමින් පාවෙලා
බොඳකලා නෙතු දෑල
අසම්මත කාළයක පිපුන
සීතල මලෙක
පාට හරියට
කියවගන්නනම් බැහැ තාම ....

සසලවී ගැලූ දා නිසොල්මන්
ගඟ දෝර
අමතකව නැහැ තාම
හිතට ආ - ගිය වාර
අසුරු සැනෙකින් මිදුන
සරුංගයක් අහස
ලෙස ඇදී ගියේ ඇයි
පවසන්න ඒ රහස ...

jagathkurugama.blogspot.com

Friday, August 12, 2016

මේ ඉර හඳ යට හමුවී ..



මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන් කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ ...
මේ ඉර හඳ යට හමුවී ...

අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහමඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා ...

දැන හදුනාගත් කාළේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා ....

බැංකුව ගාවින් හැරුණත් එක්කම තියෙන කොට්ටම්බ ගහ යට බස් හෝල්ට් එක උඩින් අදත් ඉර පායල...
තවමත් එදා වගේමයි..කොට්ටම්බ ගහෙන් වැටුන කොළයක් සුළඟට ගසාගෙනවිත් බිම වැටුන...

'මේ බැඳීම් කවදහරි හිතට වේදනාවක් වෙයි..'
' ඇයි ඒ....?
' නෑ ඔයා ගිය දවසක...
' පිස්සු...'
ඔබ සිනාසුනා...
' ඉතිං ...'
' කිතුල් ...'

කාළය දින , සති ,මාස ,අවුරුදුවලට පෙරළිලා ගලාගෙන ගියේ අව් වැසි සුළං කුණාටු එක්කමයි...
අද ඔබවත් මම ඔබවත් කොහෙද කියල දන්නෙ නෑ...
ඒත් තවමත් ඒ ඉර හඳ යට අපි ජීවත්වෙනව....
ආයෙමත් කොට්ටම්බ කොළයක් සුළගට බිම වැටුන...එදා සුළගට ඔබෙන් ගිලිහුන කෙහෙරැල්ලක් මගේ ලග තවමත් ඇති ....

* පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි , එච් ආර් චූලසිංහ ,එඩ්වඩ් ජයකොඩි සුසංයෝජනයක්..

jagath kurugama @ facebook
jagathkurugama.blogspot.com

Wednesday, August 10, 2016

ඉඟි බිඟි කරනා තරු නෙතුවලට හොරා..



ඉඟි බිඟි කරනා තරු නෙතු
වලට හොරා ..
සැගව සිනාසෙමු අපි ලොව
හිදින තුරා ...

ගිවිසා ගත්තෙමු වෙන්න නොයන සේ
අප දෙදෙනා හැරදා
ඔබට කලින් මා මටද කලින් ඔබ
කිසිම දිනෙක හෝ අපට හොරෙන් ..

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ
අප දෙදෙනා බවයේ
මා මියයන දින ඔබ මියයන දින
එකම මොහොතක් ලෙස මතු දවසේ ...



මාසෙ අන්තිම දවස උදාවෙද්දි කොහේදෝ ඉදල ආයේමත් මේ ගීයම මගේ හිතට අවා..ප්‍රවීණ ගායන ශිල්පිනී " නීලා වික්‍රමසිංහයන් ගයන මේ ගීතය  ඇසුවම හිතට දැනෙන හැඟීම නිසාම ආයෙමත්ම මේ ගැන ලියන්න හිතුන ...ආදරයක් ගැන ලියවුනු පද පේළි වචන අතරෙ ඔහේ සැරිසරන ගමනෙදි ඇසෙන මේ ගීයට මම වගේම ඔබත් ආදරෙයි කියල මම දන්නව...
හිතට දැනෙන ගීයක අගමුල හොයාගෙන යෑමේ පුරුද්දක් තියන නිසාම ඒ ගැන හොයන්න කතාකලේ මෙහි නියම හිමිකරුවානන් වන ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දරයන්ට.ඔහුගෙ දුරකථනය එවෙලෙ සක්‍රීයව නොතිබුණ නිසා පණිවිඩයක් තබා ආයෙමත් ගීතයට සවන් දුන්න ..
" ජගත් දැන් එන්න පුළුවන්ද ...එක් වරම ලැබුණු විද්‍යුත් පණිවිඩයෙහි එහෙම සටහන් වෙලා තිබුණා ..

ස්කයිප් තිරයෙන්  එහා පැත්තෙ සුපුරුදු මුහුණ ඉතාම දයාබරයි ..තවමත් ඒ වගේමයි ..

මගේ ඇරයුමින් ප්‍රියානන්ද විජේසුන්දරයන් මෙහි අතීත කතාවට මුල් පිරුවෙ මෙන්න මේ විදියට ..

මේ ගීතය මම ලියුවෙ එක්දාස් නමසිය හැත්තෑ ගනන්වල .මතුපිටින් ආදර ගීතයක් වගේ පෙනුනට මේ ගීයට මුල් වුනේ මයිනන් දෙදෙනෙකුගෙ සිද්දියක්..ඇත්තෙන්ම එක් සිද්ධියක්  නෙමෙයි සිද්ධීන් දෙකක් ..ගමේ ගොඩේ කතාවක් තියනව මයිනන් ජෝඩුවක් මැරෙනකන්ම එකට ජීවත් වෙනව කියල..මොනවහරි අනතුරකින් එක සතෙක් මැරුණොතින් අනෙක් සතා ජීවිත කාළයම තනිවම ජීවත් වෙනව..ඒ ඒ සතුන්ගෙ හැටි..

දවසක් මම සුවාරපොළ අපේ ගෙදරට යන පාරෙ එනකොට වාහනයකට යටවෙලා මයිනෙක් මැරිල..අනෙක් සතා මේ මැරුණ සතාගෙ සිරුර පාරෙ අයිනට අදින්න උත්සාහ කරනව..අමාරුවෙන් ඌ උගේ නැතිවුන සහකරුගෙ නැතිනම් සහකාරියගෙ සිරුර පාරෙන් ඉවතට ගත්තා ...මේ සිද්දිය මගේ හිත සසල කලා ...

පස්සෙ දවසක මේ කතාව මම කිඳෙල්පිටියෙ පන්සලේ නායක පාලිත හාමුදුරුවොත් එක්කල කීවම උන්වහන්සේ මේ වගේම තවත් කතාවක් කීව..
පාලිත හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් කුඩා අවදියෙදි ගෙදරට මයිනෙක් අල්ලන් ඇවිත් කූඩුවක දමල ඇති කරල තියෙනව..එහෙම කරල තියෙන්නෙ ඌට කතා කරන්න පුරුදු කරන්න..මයිනෙක් කීවට පැටියෙක් නෙමෙයි ටිකක් වැඩුන සතෙක්..ඉතිං මේ සතාට හොඳට කන්න බොන්න දීල ඇතිකරාලු..දවසක්  බලනකොට මේ කූඩුවෙ ඉන්න මයිනට තවත් මයිනෙක් ඇවිල්ල කෑම ගෙනත් කවනවලු...මේක දැකපු පාලිත හාමුදුරුවො ( එවකට කුඩා ළමයෙකි ) එවේලේම අර කූඩුවෙ උන්නු සතාව නිදහස් කරල තියනව..උන් වහන්සේ මා සමග කීව ඉන් පස්සෙ කිසිම දවසක සතෙක්ව කූඩු කරල ඇතිකලේ නෑ කියල..ඒවගේම කාටවත්ව සතෙක්ව කූඩු කරල ඇතිකරන්න අනුබල දුන්නෙත් නැහැ කියල ...

ඉතිං මම පාරදි දැකපු මයිනගෙ සිදුවීමයි පාලිත හාමුදුරුවො කියපු සිදුවීමයි මුල් කරගෙනයි මා අතින් මේ ගීය ලියැවුනේ..ආදරය සෙනෙහස කියන දේ මිනිසුන්ට වගේම සතුන්ටත් පොදුවූ දෙයක්..කොහොම හරි මෙය ජනප්‍රිය ගීතයක් වුනා ...

ප්‍රියානන්ද විජේසුන්දරයන්ගෙ කතාවෙන් මගෙ හිතටත් පුංචි දුකක් දැනුණා.විනාඩි තුනක තරම් ගීයක පිටුපස මොනතරම් සංවේදී අතීතයක් සැඟවිලා තියනවද.. ..මේ වගේ ගීත අද අපිට නොඇසෙන්නෙ ප්‍රියානන්ද විජේසුන්දරයන් වැනි සුන්දර මිනිසුන් අද එදා මෙන් නිර්මාණයකරනයේ නොයෙදෙන නිසාද නැතිනම් අද පරම්පරාව ඔහු වැනි ප්‍රවීණයන්ගෙන් ප්‍රයෝජන නොගන්න නිසාදැයි ගැටළුවකි..කෙසේ වෙතත් ගීත රචකයෙකු ලෙස සදා නොමැකෙන ගීත සමුදායක් සිංහල ගී ලොවට දායද කිරීම නිසා ඔබේ නාමය අප සිතින් කිසිදා බැහැර නොයන්නේමය ...

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ
අප දෙදෙනා බවයේ
මා මියයන දින ඔබ මියයන දින
එකම මොහොතක් ලෙස මතු දවසේ ...

මියුරු ගී තනුව ආචාර්ය වික්ටර් රත්නායකයන් සතුවේ .

jagathkurugama.blogspot.com
jagath kurugama@facebook
(0096565791064)

Tuesday, August 9, 2016

අනෝතත්ත විල නෙළුම නෙළාලා



අනෝතත්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා ..
එරන්දතිය එනවා ...

සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා ..
එරන්දතිය එනවා ...

කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා ...

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා ...



පසුගිය දවසක මේ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය උන වෙලාවක අපේ යාළුවො දෙන්නෙක් මේ ගැන සංවාදයක් පටන් ගත්ත..

කා ගැනද මේ කියන්නෙ.. කවුද එරන්දතී කියන්නෙ...
අනේ මංදා.. මම නම් දන්නෙ නෑ.. මම දන්නෙ නම් එරන්දතී කියල ( එක්තරා ගායිකාවකගෙ නමක් කියයි ) විතරයි..එයා වෙන්නත් බැහැනේ..මේක පරණ එකක්නේ..

මේ කතාව ඇහුවම හිනා ගියත් ඇත්තෙන්ම එරන්දතිය ගැන නොදන්න අයත් ඉන්නව නේද කියලත් හිතුන..ඉතිං කවුද මෙච්චරට වර්නණා කරන මේ සුරූපිනි..කොහෙ ඉඳලද ඇය මේ එන්නෙ..
මේ සුරූපී එරන්දතිය අපට හමුවෙන්නෙ විධුර ජාතකයෙන්..

ගීතයට අදාල කාරණා විතරක් කියනවනම් විධුර පණ්ඩිතයන්ගෙන් දහම් අසන නා ලොව නා රජු ඒ පුවත සිය බිසව වන විමලාදේවියට පවසනවා..විමලා දේවියට විධුර පණ්ඩිතයන් දැක ගැනීමේ බලවත් වු ආශාවක් ඇතිවෙනව ..විධුර පණ්ඩිතයන් නා ලොවට රැඟෙන ඒමේ කටයුත්ත ඇය බාර කරන්නේ සිය දියණිය වන එරන්දතිය  හටයි ..
මෙන්න මේ නා රජ දියණිය තමයි " එරන්දතිය "  කියන්නෙ.. ඇය නා ලොව සිට විධුර පණ්ඩිතයන් රැඟෙන යාමට මනු ලොවට එන ගමන ප්‍රවීණ ගේය පද රචක සුනිල් සරත් පෙරේරා දකින ආකාරය තමයි මේ විදියට ගීතයක් කියැවෙන්නෙ ..

එරන්දතිය නා ලොවෙන් හිමාලයේ කාලගිරි පර්වතයට පැමිණෙන අයුරු ඉතා මැනවින් ගීතයෙන් කියැවෙනවා..හිතින් චිත්ත රූප මැවෙනාසුළු ස්ත්‍රී වර්ණනාවක් මුළු ගීය පුරාම තියනව..

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා ...

බලන්න මොනතරම් ලස්සන පද මාලාවක්ද කියල..අනෝතත්ත විලෙන් නෙළූ නෙළුම් හිස ගවසාගෙන ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් පරිවාර අඟනන් පිරිවරාගෙන් එන එරන්දතිය ඇත්තටම මොනතරම් ලස්සන වෙන්න ඇත්ද..

මේ වගේම තවත් සුරූපි ස්ත්‍රී වර්ණනාවක් අඩංගු තවත් ගීයක් තිබෙනව..එයත් ගැයුවෙ මේ ගීය ගයනා පණ්ඩිත් අමරදේවයන්මයි..ඒ ගීය " ඔබේ නමින් සෑය බඳිමි .." කියන ගීතයයි..

මේ ගීත දෙක තරම් ස්ත්‍රී වර්ණාවන් අඩංගු තවත් ගීත තිබේද කියලත් හිතෙනව..ඒත් අවාසනාවකට මේ ගීත දෙකෙන්ම කියැවෙන්නෙ මනුස්ස දූවරුන් ගැනනම් නෙමෙයි..සුනිල් සරත් පෙරේරා එරන්දතිය  ලීවේ නාග ලියක් වෙනුවෙන් .. එතකොට මහගම සේකර ස්වර්ණමාලීයේ ලීවේ දේව ලියක් වෙනුවෙන්.. මනුස්ස දූවරු මේවට අමනාප වෙයිද මංදා..

පණ්ඩිත් අමරදේවයන්ට මේ ගීය සඳහා ගායනයෙන් සහයවුනේ ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහයන්.. ජාතික රූපවාහිනියෙන් නිශ්පාදනය කල විධුර ජාතකය පහලින් කමෙන්ට් එකක් විදියට දාන්නම්..වෙලාවක් තිබුනොත් බලන්න..ඒකෙන් ඔබට විධුර පණ්ඩිතයොත් එරන්දතියත් හමුවේවි. 


- ජගත් ප්‍රසන්න කුරුගම
Jagathkurugama.blogspot.com
09/08/16

Monday, August 8, 2016

නොම තරාහාවනු විමසමි මා ඔබ


නොම තරාහාවනු විමසමි මා ඔබ
කලකිනි හමුවූයේ ..
යෞවනයේ රුව හිමිවුන සේයා
සාඩම්බර මුහුණේ ...

ගුමු ගුමු නද දෙන වන සමනලුනේ
මලින් මලට සරනා ..//
නැත කිසි බාදා තොපහට අපගෙන්
ආයෙත් ඔහෙ නොයෙනා ..

අකුරට ගියෙ අප දෙදෙනා සමගින්
සමනොළ දිවි වරුණා ..//
කවට සිනා තොල් පෙති මුමුණා එයි
සුරඟන ලොවකි මනා ...


පාසල් කාළයේ ප්‍රේමයත් හරියට මේ වගේ..
කොයි වගේද..
මේ වගෙයි ..
හරියටම කියන්න බැරි උනත් ඒකෙ මොකක්ද්දෝ හුරුබුහුටි හැඩයක් තියනවා..ඔබ කොහේද කියල අද මමවත් මම කොහේද කියල ඔබවත් දන්නෙ නෑ..ඒත් ඒ අතීතෙ මට වගේම ඔබටත් මතක ඇති..

ඉස්කෝලෙන් අස් උනාට ආයෙත් එක දවසකට ඉස්කෝලෙ යන්න මටත් ආසයි..ඒ ඩෙස් පුටු.. ඒ ගස් වැල් අදනම් නැතුව ඇති..ඒත් ඒ අතීතය මුසුවෙච්ච ඔබේ සුවඳ මට දැනේවි කියල මට හිතෙනව..හැමෝටම ඒ වගේ පාසල් කාලයක් පාසල් ප්‍රේමයක් තියෙන්න ඇති..සමහරවිට ඒක ඒක පාර්ශවීය ප්‍රේමයක් වෙන්නත් පුළුවන් ..

 මේ ගීතයෙන් කියැවෙන්නෙත් අන්න එහෙම පාසල් ප්‍රේමයක් ගැන..
කාලයක් ගතවෙලා ...
දවසක ඔහුට ඇයව ආයෙමත් හමුවෙනව..එතකොට ඇය තරුණියක්..ඔහු ඇය හා සමග කතාකරනව .  ඒත් ඇයි ඔහු තරහවෙන්න එපා කියල ඇයට කියන්නේ..සමහරවිට මම මුලින් කිව්ව වගේ ඔහු ඒකපාර්ශ්විකව ඇයට ආදරය කලාද  එහෙම නැතිනම් ඔහු විසින්ම ඇයව අතහැරල දාල ගිය නිසාද..

නොම තරාහාවනු විමසමි මා ඔබ
කලකිනි හමුවූයේ ..
යෞවනයේ රුව හිමිවුන සේයා
සාඩම්බර මුහුණේ ...

කොහොම උනත් ගීතයක් විදියට මේ කතාව සුන්දරයි..ලොකු ලොකු වචන නැතිවුනාට සරළ කෙටි වදන් තුලින් බිහිවූ සුන්දර සරළ ගීයක්.
ෂර්ලි වෛජන්තගේ ගීයක් ගැන මීට පෙරත් කතා කරල තිබුණට මේ ගීය ඇසුවම ආයෙමත් මෙහි ලියන්න හිතුනා.ඔහු ගැයූ

මං බොළඳ වියේ බැඳි හාද ..
ඈත ක්ෂිතිජයේ ..
මා සිත මියුරු කල්පනා ..
දොර කව්ළුවෙන් එබී බලා ..
දෑසට හුරුවූ ඝන අඳුරින් ..

වැනි ගීත හිතට ගෙන එන්නේ සියුම් සතුටක් මුසු සංවේගයක්.. කතාවෙ විදියට මටත් කොහේදි හෝ ආයෙ ඔබව මුනගැසුනොත් කතාකරගන්න බැරි වෙයිද මංද ..

- ජගත් ප්‍රසන්න කුරුගම -
jagathkurugama.blogspot.com