Friday, August 26, 2016

මේ ගඟ මේ දුරු කතර ගෙවා



මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර උනේ ...

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලින් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ ...

මේ විස කටුගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ ...


අහන්න අහන්න ඇතිවීමක්නම් නොමැති ගීත අතරේ මේ ගීයත් හදවතට ගොඩාක් සමීපයි..ආදරය විරහව වගේ පොදු මාතෘකා වලින් කොයිතරම් ඇසුනත් හොඳ ගීයක හැමවෙලාවකම මොකක් හරි පෙර නොදැනුන ගතියක් නැවත ඇසෙද්දි දැනෙනව.  මේ ගීයත් ඒවගේද...ඔබට මොනවද හිතෙන්නෙ..මටනම් හිතෙන්නෙ මෙහෙමයි...
ගීතයක් ලියන්න මොනවගේ හේතු කාරණා තිබුණත් ඒව විඳගන්න පුළුවන් එක එක හැඩතල වලින්...මේ ගීයෙ තිබෙන එවන් එක් හැඩතලයක් තමයි මේ...ගීත රචකයානෝ මෙය මොන අරමුණකින් ලීවත් මගේ එක්තරා හිතවතෙකුට මෙය අදාල වෙලා තිබුණේ මේ විදියටයි...ගීතයක් තමන්ගේ අත්දැකීම් වලින් විඳින්න හැමෝටම අයිතියක් තියන නිසා මේ ගීය කෙනෙකුට සමීපවුන අයුරුයි මේ..

 මේ කතාව දෙදෙනෙකු වටා නොව තිදෙනෙකු වටා එතෙන කතාවක් ..
තරුණියක් ..ඇයගේ හිමිකරු සහ ඇයගේ ප්‍රේමවන්තයා මෙහි චිත්‍රනය වෙනවා..

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර උනේ ...

මෙතනදි කතාව ඉතාම සරලයි..ගඟක් බොහෝ දුර ගෙවාගෙන ගලාගෙන ඇවිත් අවසානයෙහි මුහුදට එක් වෙනව..මේ තරුණියත් ඒ වගේ.. ජීවිතයෙහි බොහෝ දුර ගෙවූ ඇය අන්තිමට ඔහු ලඟ නතර වෙනවා ..ඉතිං එහෙම උනු එකේ වරදක් නැහැනේ කියල ඔබට හිතේවි..ඒත් ඊළඟට ..

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලින් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ ...

ඊළඟටත් එහෙමයි..නිල් දිය මත මල් පිපිලා..හරියට ජීවිතය වගෙයි..සමහරවිට ඇයගෙ ජීවිතයත් නිල් දිය පිරුණ විලක් වගෙයි...ඇය මෙහෙම අසනව..ඇයි ඔබ ආදර මල පිපුනේ කියල..
මෙහිදි කියන්නෙ " ඇයි ඔබෙ ආදර මල " කියල නෙමෙයි.. " ඇයි ඔබ ආදර මල " කියලයි...
මෙතන ඇය ප්‍රශ්න කරන්නෙ ඔබ නැමති ආදර මල මගේ සිතෙහි නැතිනම් හද විලෙහි පිපුනේ ඇයිද කියලයි...ඇත්තෙන්ම ඒක ප්‍රශ්නයක් උනේ මෙහෙමයි..

මේ විස කටුගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ ...

ඔන්න මුළු ගීතයෙම තියන කනස්සල්ල නැතිනම් අහිමි වීමක , නොපෑහීමක සිදුවීම කියැවෙන්නෙ මෙතනදියි..මල් වැල කටු ගසකයි එතිල තියෙන්නෙ...කටු ගස හරි විසයි.. සැරයි...අමනාපයි..ඒත් මල් වැල එතිල තියෙන්නෙ ඒ කටු ගසේ..දැන් මල් වැලට ආයේ ඒ  කටුගසෙන් ලිහිල එන්න බැහැ..ඒ කටුගස තමයි ඇයගෙ හිමිකරුවානන්.. මල් වැල තමයි ඇය..

ඇය අසනව..  කාගෙන්ද.. ඇයගේ ආදරවන්තයගෙන් මෙහෙම..
ගිලිහී යන්නට ඔබෙ සුරතේ ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ...
තේරුම් ගන්න මෙතන තිදෙනෙකුගේ අතැඟිලි තිබෙනවා...මගේ අතැඟිලි බැඳිල තියෙන්නෙ මගේ හිමිකරුට...ඒ නිසයි මට ඔබේ ( ප්‍රේමවන්තයාගේ ) සුරත ගිලිහෙන්නෙ . ඇය සිතින් ඇයගෙ පෙම්වතාට ගොඩක් ආදරෙයි..ඒත් ඇය විවාහකයි..ඇයට අසරණයි...විස කටු ගසෙන් බේරිලා ඔහු ලඟට එන්න ඇය සිතින් පතනවා...

ඔන්න ඔය මේ ගීයේ තිබෙන එක් හැඩතලයක්..
සුමියුරු ගී හඩ ශිල්පිනී නිරංජලා සරෝජනී ...පදමාලාව ලූෂන් බුලත්සිංහල  ..සංගීතවත් කලේ එච් එම් ජයවර්ධන ..

ගීයත් එක්කල ඔබටත් හිතන්න ගොඩාක් දේ තියනව කියලත් දන්නවා..

jagathkurugama.blogspot.com

No comments:

Post a Comment