Monday, August 15, 2016

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ ..



ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ ...

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යයි දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ ...
සෝබන මේ නදියේ ....
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ ...

ඇල් කෙතකින් එන
දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ ....
කවුරුද ඇල්හේනේ ...
කවුරුද ඇල්හේනේ ....
ගී හඬ පතුරන්නේ .....



සඳරැස් පායල ලස්සනට පරිසරය අලංකාර කරන වෙලාවක නිසංසලේ අහන්න පුළුවන් ගීතයක් තමයි මේ..අද තරමක් දුරට වැඩිපුර නෑසුනත් කාළයක් සෑම වෙලාවකම ඇසුන ජනප්‍රිය ගීයක් ලෙසට මෙය හඳුන්වන්න පුළුවන් ..සොබාදහමේ අපූරුවූ චමත්කාරය මනාව අපගේ හිතට කාන්දුකරවන්නාවූ මේ ගීය නිසසල රැයක දෑස පියාගෙන අහන්න ඇත්නම් මොනතරම් සිසිලසක් සිතට දැනෙනවද ...

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ ...

මේ කතාවෙන් අපට කියවෙන්නේ රාත්‍රියක්..මේ වෙලාවේ ලෝකය අඩ නින්දේ..නැතිනම් ලොවෙන් අඩක් නින්දේ..මේ දෙයාකාරයම ගීතයට ගැලපෙනව..අඩ නින්ද ඒ කියන්නෙ මහා රාත්‍රියම නෙමෙයි සමහරවිට රෑ නවයට විතර...ඒ එක අනුමානයක් ..අනික තමයි රෑට මිනිසුන් නිදිය ගත්තත් සමහර සතුන් අවදියෙන්..රෑට කොටසක් නිදිය ගත්තත් අනිත් අඩ වදියෙන්..මේ  කරුණු දෙකම ගීතයට සාධාරණයයි..මේ වෙලාවෙ සඳ රැස් වතුරට වැටිල...ආකාසෙ මල් පිපිල වගේ තරු බැබලේනව..හරිම මනස්කාන්ත දසුනක්...

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යයි දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ ...
සෝබන මේ නදියේ ....
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ

ඔන්න මේ කොටසින් අර සඳරැස් වැටිල බැබලෙන්නෙ ගංගාවකට කියල අපට පැහැදිලි වෙනව...ගඟ දෙපස කිරළ ගස් වැවිලා..ඒ කිරළ ගස් වල ගෙඩි වතුරට වැටිලා පාවෙලා යනව...මේ රැයේ අඩ අඳුරත් එක්කල සිහිල් සුළගක් හමනව.. ඒ සුළගට පිපුන නාමල් සුවඳක් එකතුවෙලා ..ඔබ දෑස් පියාගෙන මේ දේ විඳින්න..ඒ සිහිල ඒ සුවඳ ඔබට දැනෙනව ඒකාන්තයි..මෙයම තමයි සාර්ථක ගීතයක ස්වභාවය...

ඇල් කෙතකින් එන
දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ ....
කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ .....

මෙතනදි මම අර මුලින්ම කීව කාළනීර්නයෙහි මුල් කරුණට ගීතයෙහි වැඩි නැඹුරුවක් දක්වනව..
ඇල් කෙතකින් එන දැරියකගේ ගී හඩක් ඇහෙනව..  ( ඇල් හේනක් කියන්නෙ අළුතින් අරඹපු හේනක් ) සමහරවිට පැල් කවියක් වෙන්නත් පුළුවන් .. මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඩ කිව්වත් මහ රාත්‍රියක් නම් මෙසේ දැරියකගේ හඩක් එන්න විදියක් නැහැ..එහෙනම් මෙතන තියෙන්න ඔන මධ්‍යම රාත්‍රියට මෙහා හෝරාවන් කිහිපයක්..

ඇත්තටම මනාව සිතට කාවදින අන්දමේ අපූරුවූ මිහිරි ගීයක් තමයි මේ..ඔබ දන්නව මේ ගීය ගායනා කරන්නෙ අපේ රටේ සිටි ප්‍රවීණ ගායන ශිල්පියකු වු සී ටී ප්‍රනාන්දු නැත්නම් සිරිල් ටියුඩර් ප්‍රනාන්දු විසින්..අපූරු වදන් යොදා ගීතය ලිව්වෙ ඒ කාලෙ සිටි ගේය පද රචකයෙකු වූ සුනිල් සේනාධීරයන් විසින්..සී ටී ප්‍රනාන්දු මහතාම තමයි මෙයට තනුව නිර්මාණය කලෙත්..

සී ටී ප්‍රනාන්දු ගැන කෙටියෙන් සඳහනක් කලොත් සිංහල සංගීතය වෙනස් මගකට හැරවු පුද්ගලය්න් කිහිප දෙනාගෙන් එක් අයෙක් තමයි සී ටී.. ඔහුගේ විශේෂත්වයක් තමයි බටහිර ආරෙ රිද්මයන් යොදාගෙන ගැමි ආරේ ගීත ඉදිරිපත් කිරීම..ඔහුගේ බොහෝ ගීවල තිබුනේ ගැමි සමාජයේ දකිනට ලැබෙන චරිත ගීතයට නැඟීමක්..ඒවාගෙම අපිට ගැලපෙන නිමවුමකින් යුතු හැඩතල ඒ බොහෝ ගී වල තිබුණා.. එමෙන්ම ඔහුගේ බොහෝ ගීවල තිබුණේ සොබාදහම් වර්ණනා .. එකසිය හැත්තෑ පහක් පමනවූ ඔහු ගැයූ ගීවල වැඩි හරියක ගී තනු ඔහුගේම උනා..ඒවගේම මුලින්ම විදේශයකට ගොස් සංගීත සංදර්ශනයක් පැවැත්තූ පළමුවැන්නාත් ඔහුයි..

1921 ජනවාරි 28 වෙනිද ඉපදුන මේ ශ්‍රේෂ්ඨ  ගායකයානෝ 1977 ඔක්තෝබර් 17 නිදා ජාතියෙන් සමුගත්තත් ඔහු සිංහල ගීයට එක් කල අභිමානය කවදාවත් මිය යන්නෙ නැහැ..

- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

No comments:

Post a Comment