Tuesday, August 9, 2016

අනෝතත්ත විල නෙළුම නෙළාලා



අනෝතත්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා ..
එරන්දතිය එනවා ...

සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා ..
එරන්දතිය එනවා ...

කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා ...

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා ...



පසුගිය දවසක මේ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය උන වෙලාවක අපේ යාළුවො දෙන්නෙක් මේ ගැන සංවාදයක් පටන් ගත්ත..

කා ගැනද මේ කියන්නෙ.. කවුද එරන්දතී කියන්නෙ...
අනේ මංදා.. මම නම් දන්නෙ නෑ.. මම දන්නෙ නම් එරන්දතී කියල ( එක්තරා ගායිකාවකගෙ නමක් කියයි ) විතරයි..එයා වෙන්නත් බැහැනේ..මේක පරණ එකක්නේ..

මේ කතාව ඇහුවම හිනා ගියත් ඇත්තෙන්ම එරන්දතිය ගැන නොදන්න අයත් ඉන්නව නේද කියලත් හිතුන..ඉතිං කවුද මෙච්චරට වර්නණා කරන මේ සුරූපිනි..කොහෙ ඉඳලද ඇය මේ එන්නෙ..
මේ සුරූපී එරන්දතිය අපට හමුවෙන්නෙ විධුර ජාතකයෙන්..

ගීතයට අදාල කාරණා විතරක් කියනවනම් විධුර පණ්ඩිතයන්ගෙන් දහම් අසන නා ලොව නා රජු ඒ පුවත සිය බිසව වන විමලාදේවියට පවසනවා..විමලා දේවියට විධුර පණ්ඩිතයන් දැක ගැනීමේ බලවත් වු ආශාවක් ඇතිවෙනව ..විධුර පණ්ඩිතයන් නා ලොවට රැඟෙන ඒමේ කටයුත්ත ඇය බාර කරන්නේ සිය දියණිය වන එරන්දතිය  හටයි ..
මෙන්න මේ නා රජ දියණිය තමයි " එරන්දතිය "  කියන්නෙ.. ඇය නා ලොව සිට විධුර පණ්ඩිතයන් රැඟෙන යාමට මනු ලොවට එන ගමන ප්‍රවීණ ගේය පද රචක සුනිල් සරත් පෙරේරා දකින ආකාරය තමයි මේ විදියට ගීතයක් කියැවෙන්නෙ ..

එරන්දතිය නා ලොවෙන් හිමාලයේ කාලගිරි පර්වතයට පැමිණෙන අයුරු ඉතා මැනවින් ගීතයෙන් කියැවෙනවා..හිතින් චිත්ත රූප මැවෙනාසුළු ස්ත්‍රී වර්ණනාවක් මුළු ගීය පුරාම තියනව..

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා ...

බලන්න මොනතරම් ලස්සන පද මාලාවක්ද කියල..අනෝතත්ත විලෙන් නෙළූ නෙළුම් හිස ගවසාගෙන ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් පරිවාර අඟනන් පිරිවරාගෙන් එන එරන්දතිය ඇත්තටම මොනතරම් ලස්සන වෙන්න ඇත්ද..

මේ වගේම තවත් සුරූපි ස්ත්‍රී වර්ණනාවක් අඩංගු තවත් ගීයක් තිබෙනව..එයත් ගැයුවෙ මේ ගීය ගයනා පණ්ඩිත් අමරදේවයන්මයි..ඒ ගීය " ඔබේ නමින් සෑය බඳිමි .." කියන ගීතයයි..

මේ ගීත දෙක තරම් ස්ත්‍රී වර්ණාවන් අඩංගු තවත් ගීත තිබේද කියලත් හිතෙනව..ඒත් අවාසනාවකට මේ ගීත දෙකෙන්ම කියැවෙන්නෙ මනුස්ස දූවරුන් ගැනනම් නෙමෙයි..සුනිල් සරත් පෙරේරා එරන්දතිය  ලීවේ නාග ලියක් වෙනුවෙන් .. එතකොට මහගම සේකර ස්වර්ණමාලීයේ ලීවේ දේව ලියක් වෙනුවෙන්.. මනුස්ස දූවරු මේවට අමනාප වෙයිද මංදා..

පණ්ඩිත් අමරදේවයන්ට මේ ගීය සඳහා ගායනයෙන් සහයවුනේ ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහයන්.. ජාතික රූපවාහිනියෙන් නිශ්පාදනය කල විධුර ජාතකය පහලින් කමෙන්ට් එකක් විදියට දාන්නම්..වෙලාවක් තිබුනොත් බලන්න..ඒකෙන් ඔබට විධුර පණ්ඩිතයොත් එරන්දතියත් හමුවේවි. 


- ජගත් ප්‍රසන්න කුරුගම
Jagathkurugama.blogspot.com
09/08/16

4 comments:

  1. මෙච්චර දවසක් මං හිතාගෙන හිටියේ සිරි කාලකන්නි ජාතකයේ එන චරිතයක් කියලා.

    ReplyDelete