Wednesday, August 17, 2016

ලොකු හාමුදුරුවො උදෙන්ම නුවර ගිහින්


ලොකු හාමුදුරුවො උදෙන්ම
නුවර ගිහින්
දළදා වැදලා එනකොට රෑ බෝවෙයි ..
ඊයේත් හීනෙන් නංගිත් එක්කල
නිදාගත්තෙ අම්මගෙ තුරුළේ මං
එතකොටනම් අම්මේ ...
මහණ වෙලා නෑ මං ....

තාත්ත වාගේ ලඟින් තියාගෙන
පුංචි පුංචි බණ කතා කියනකොට
මේවගෙ තනියක් දැනෙන්නෙ නෑ මට
ලොකු හාමුදුරුවෝ
ලඟින් ඉන්නවා නම් ...

නංගීත් එක්කල ඔට්ටු දුවන්නට
තාත්තගේ කර පිට නැග යන්නට
අම්ම අතින් බත් කට කට කන්නට
අද වගෙ දවසක
ගෙදරින් එනවා නම් ....



( දැනට විකාශය වන "සිඳූ " ටෙලිනාට්‍ය නරඹන විට මීට ටික කාලයකට ඉහත මවිසින් තැබූ මේ සටහන නැවතත් ඔබවෙත ගෙන ඒමට සිතුනා ..)

 හැමදාමත් එක වගේ ගීත ගැන ලියනඑකේ වෙනස් අයුරක ගීයක් ගැනයි මේ කතාව...මේ සටහන ලියන්න කලින් මේ ගීය ඇසුවම මම ගොඩාක් සංවේදී උනා...මම විතරක් නෙමෙයි හදවත් ඇති ඔබත් ඒවගේම වෙයි....
එහෙම වෙන්නෙ මේ ගීය සැබැවින්ම සාර්ථක නිමැවුමක් නිසයි...

ලොකු හාමුදුරුවො උදෙන්ම
නුවර ගිහින්
දළදා වැදලා එනකොට රෑ බෝවෙයි ..
ඊයේත් හීනෙන් නංගිත් එක්කල
නිදාගත්තෙ අම්මගෙ තුරුළේ මං
එතකොටනම් අම්මේ ...
මහනවෙලා නෑ මං ....

කතාවෙන් කියැවෙන්නෙ පුංචි සාමනේර නමකගෙ සිතුවිලි ගොන්නක්...ලොකු හාමුදුරුවෝ දළදා වදින්න නුවර  ගිය අතරෙ උන් වහන්සෙ පන්සලේ තනි වෙනව..සිවුරු දරා උන්නත් ඒ සිවුර ඇතුලෙ ඉන්නෙ ඔබේත් මගේත් වගේම සුරතල් දරුවෙක්....
මේ දරුවගෙ සිතට  හුදකලාවත් එක්කම සිය නිවස මතක් වෙනව..සංසාරෙ දුක අවබෝධය කරන් මහනවෙනව වගේ නෙමෙයි පුංචිම කාලෙ මහනවුනාම..ළදරු හිතට තනිකම තදින් දැනෙනව...
සිතන්න මේ ඔබේ දරුවා උනානම්...

ඊයෙත් නිවසේ ඉන්න නැගණියත් එක්කල ඔහු සිහිනෙන නිදාගන්නව අම්මගෙ තුරුළෙ...ඒත් ඒ මහණ වෙන්න ඉස්සර...
සංවේදී වියයුතු තැන්වල අපි හැමෝම සංවේදී කරන්න ගීයට හඩ දෙන ' හර්ෂන දිසානායකගෙ ' කටහඩ සමත් වෙලා ..

තාත්ත වාගේ ලඟින් තියාගෙන
පුංචි පුංචි බණ කතා කියනකොට
මේවගෙ තනියක් දැනෙන්නෙ නෑ මට
ලොකු හාමුදුරුවෝ
ලඟින් ඉන්නවා නම් ...

මේ ලොකු හාමුදුරුවෝ පුංචි හාමුදුරුවන්ට හරිම ආදරෙයි...ගිහි ජීවිතයෙන් වෙන්කරල පැවිදි දිවියට ආවම අහිමිවුන පිය සෙනෙහසේ අඩුව පුරවන්න ලොකු හාමුදුරුවෝ සමත්වෙලා තියෙනවා...අද උන් වහන්සේ නැති උනාම දැනෙන පාළුව පොඩි හාමුදුරුවන්ට තදින් දැනෙනබව අපිටත් දැනෙනව...

නංගීත් එක්කල ඔට්ටු දුවන්නට
තාත්තගේ කර පිට නැග යන්නට
අම්ම අතින් බත් කට කට කන්නට
අද වගෙ දවසක
ගෙදරින් එනවා නම් ....

ඒ පුංචි හිමියන්ගේ  සිතුවිලි මොනතරම් අවිහිංසකදැයි බලන්න..පැවිදි දිවියේ අකැප දෑ හිමියන් දනී..නමුත් ළමා සිත ඒ අදහස් පරයා නැගී සිටී..විනය නීති ලොකු කුඩා කාටත් සමානය..නංගිත් එක්කල සෙල්ලම් කරන්න,තාත්තත් එක්කල සුරතල් වෙන්න ,අම්මට කියල බත් කවා ගන්න ලපටි සිත ආශා කරයි...ලොකු හාමුදුරුවන් ඉන්නා තැන ඒවාට සීමා ඇත..නමුත් අද ලොකු හාමුදුරුවන් නැත.ගෙදරින් එනවානම් ඒවාට හොදම දවස අදය...

මේ ගීතය ගයන හර්ෂන දැන් තරුණයෙක් නිසා ඔහුගේ මේ සිඟිති කටහඩ නම් දැන් නෑ...ඒත් මේ කතාවෙ එන සාමනේර හිමිවරුනම් ඔබේ පන්සලෙත් තවම ඉන්නවා නේද ...

- ජගත් කුරුගම -
jagathkurugama.blogspot.com

3 comments:

  1. නංගීත් එක්කල ඔට්ටු දුවන්නට
    තාත්තගේ කර පිට නැග යන්නට
    අම්ම අතින් බත් කට කට කන්නට
    අද වගෙ දවසක
    ගෙදරින් එනවා නම් ....

    ReplyDelete