Monday, June 19, 2017

දෑස නිළුපුල් තෙමා



දෑස නිළුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා
ඉකිබිඳ හඬනු මල් මාලියේ .....

නිහඬ හදවත් පොතේ ලියැවුනූ
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ ...

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
තුසර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ .....


මේ ගීතය ගැන සටහනක් ලියන්න මෙහි පදමාලාව හොයද්දි මම අපූරු දෙයක් දැක්ක. ඒ තමයි මෙහි එක වචනයක් බොහෝ වෙබ් සයිටවල 99% ම වැරදියට ලියල තියෙන්න බව. ඒක තමයි
"කඳුළු මුතු ඇට ඔබේ මා සතූ .."
කියන එක.මේක සම්පූර්ණයෙන්ම වැරදියි.මේකේ හරි වචනෙ තමයි

 "කඳුළු මුතු ඇත ඔබේ මා සතූ "

 කඳුළු මුතු තියනව කියල අදහසක්. මේ ගීය ලිව්වෙ අපට ඉන්න ප්‍රවීණ ගීත රචකයෙකු වන ප්‍රියානන්ද විජේසුන්දර . ඉතිං මේක තවත් තහවුරු කරගන්න මම කතා කලා මේක ලිව්ව ප්‍රියානන්ද විජේසුන්දර මහතා හට .මේ ගීතයෙහි අගමුල විජේසුන්දර මහතාණන් මතක් කලේ මේ විදියට....

මේ ගීය ලිව්වෙ මට මතක හැටියට හැත්තෑව දශකයේ මුල. ඒ කාලේ කපුගේව මම අඳුනන්නෙ නෑ.. ඒත් බස් එකේ උසට උසේ එල්ලිල යන මේ මනුස්සයව මම දැකල තියනව. ඇත්තෙන්ම මම අඳුනන්නෙ කපුගේගෙ මල්ලිවයි .එයා උන්නෙ පොල්ගස්ඕවිට. දවසක් එයා මට කිව්ව අපේ අයිය ඉංදියාවෙ ගිහිල්ල සංගීතය ඉගෙනගෙන ඇවිත් කැස්බෑවෙ කලායතනයක උගන්වනව කියල.ඉන් පස්සෙ තමයි මම කපුගේව අඳුනගන්නෙ..

කොහොම හරි පස්සෙ කපුගේ ගුවන් විදුලියෙ හඬ පාලක වරයෙක් විදියට කටයුතු කලා.මේ කාලේ ගුවන්විදුලියෙ හිටපු පී.ඩී ස්ටීවන් කියන මහත්මය මේ සංගීත උපාධියකුත් තියන් හඬපාලක වරයෙක් විදියට ඉන්න කපුගේව දැකල ඔහුට ගීතයක් පටිගත කරන්න කියල ආරාධනා කලා. කොහොම හරි කපුගේ මේ නිසා සනත් නන්දසිරි මහතා ලවා තනුවක් හදාගෙන ගීතය ලියන්න කෙනෙක් හොය හොය ඉඳල තියනව.

දවසක් ගුවන්විදුලියෙ දි කපුගේ මාව දැකල  "අනේ මචෝ උඹ දැක්ක එක දෙවියෙක් දැක්ක වගේ.. මම මේ සිංදුවක් ලියාගන්න කෙනෙක් හොය හොය හැමතැනම ඇවිද්දෙ "  කියල මගේ ලඟට දුවගෙන ආව..  ඉන් පස්සෙ අපි ගුවන්විදුලි කැන්ටිමට ගිහින් තේ බීල සිගරැට් එකකුත් පත්තු කරන් මේ ගැන තවත් කතා කලා. ඉන් පස්සෙ ස්ටූඩියෝ අංක 10 ගිහිල්ල කපුගේ පියානෝ එක ලඟ වාඩිවෙලා අර මුලින් හදන් ආපු තනුව කටින් කිව්ව..
ඒ එක්කම මම සින්දුව ලියන්න පටන් ගත්ත..ඊට පස්සෙ කපුගේ ආයිත් ඒ තනුව පියානෝ එකෙන් ප්ලේ කලා.. ඒ වෙද්දි මම ඔය ගීය ලියල ඉවරයි..
එතකොට වෙලාව දවල් 1.30ට විතර ඇති.2.00 ට තමයි රෙකෝඩින් එක තිබුණෙ.

ඉතිං ඔන්න ඔය විදියට තමයි කපුගේගේ මුල්ම ගීය විදියට  "දෑස නිළුපුල් තෙමා කියන ගීය ලිව්වෙ.. එදා අහම්බෙන් සින්දුවක් කියපු කපුගේ ඊට පස්සෙ හිමින් හිමින් මහා ගායකයෙක් උනා.... ඔයා ඇහුව වගේ ඕකේ මම ලිව්වෙ කඳුළු මුතු ඇත කියලයි. මුතු ඇට නෙමෙයි.

ඔන්න ඔය විදියට ප්‍රියානන්ද විජේසුන්දර මතතා ඔය ගීයේ අතීත කතාව මාත් එක්කල කිව්වෙ..මේ ගීය කපුගේට වගේම ඔහුටත් ස්වර්ණමය සිහිවටනයක් උනේ ඔය විදියටයි. අද ප්‍රියානන්ද විජේසුන්දරයන් වෙසෙන්නෙ දිවයිනෙන් බැහැර සීතල නවසීලන්තයෙ. ඒත් තවමත් ගෙවුන අතීතය මේ වගේ සුන්දර අත් දැකීම් එතුමා අපිත් එක්ක බෙදා ගන්නෙ හරිම කැමැත්තෙන්...

මේ වගේ සොඳුරු ගීත නිර්මාණය කරපු ප්‍රියානන්ද විජේසුන්දරයන් හට නිදුක් නීරෝගී යහපත් අනාගතයක් වේවා !
සියළු දේ සාර්ථක වේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

- ජගත් ප්‍රසන්න කුරුගම -

Friday, June 16, 2017

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා



පෙනුන සුව දසුන් දස අත
මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට
දෙවනව ද ඔයා
යහන මත වඩී හිරු දෙවි
දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ
මට ආදරෙයි කියා ......

සෙල්ලම් ගෙවල් තනාගෙන
වැලි බත් උයා කවා
වල් කොල කොටා දියේ මුසු කර
තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත
මඟ හැරී
මට ආදරෙයි කියන්නකෝ
මුවඟින් අමා පිරී ....

ඇන්ද රතු වළා සිතුවම්
හකුළුවා තියා
සිතරු පෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගෙයි පෙරඹර
කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ
මට ආදරෙයි කියා .....

හමුවුනි අනන්ත මල්
රුව මිස සුවඳ නොතැවරී
ලියලයි හදේ පැතුම් වැල ඔබ
වෙතම හැරි හැරී
පාළුව ළැගුම් ගනී හද තුළ
පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො
මුවඟින් අමා පිරී ...


ගීතයක් විඳගැනීම කොතරම් සැනසීමකට කරුනක්ද... ඇසීමත් , අසා සිටීමත් විඳීමත් වෙන් වෙන් වශයෙන් ගත්කල විවිධාකාරයි. ගීත අසන්නෝත් ගීත විඳින්නෝත් ඉන්නව.දෙවනි පිරිස පළමු පිරිසට වඩා මදක් ඉදිරියෙන්.. ඒක එහෙමම  තියෙද්දී මේ ගීය කොයිතරම් සිතෙහි හැඟීමක් , විඳවීමක් කරනවාදැයි සිතා බලන්න...

හෙන්ද්‍රි කල්දේරා යනු වෙනස්ම විදියේ ගායකයෙක්.ඔහුගේ ගතෙහි කුමන වෙනසක් තිබුනත් ඒ හඬෙහි තියන පෞරුෂය කෙතරම්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ.
 ඒ හඬ තුල මහා මිනිසෙක් ජීවත් වෙනව. එසේම ඔහු තුල තිබූ ගීත පැබැඳුම් කුසලතාවයනම් කෙතරම්ද ..
බලන්න මෙය...

පෙනුන සුව දසුන් දස අත
මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට
දෙවනව ද ඔයා
යහන මත වඩී හිරු දෙවි
දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ
මට ආදරෙයි කියා .....

තමන් කාලයක් තිස්සෙ දුටුව සිහිනයක් බලාපොරොත්තුවක් මැකී ගිහිල්ල..දකින්න කැමති නැති විදියක වෙන්වීමක්.. හිර බැහැල යනව.හරියට ඉර නිදියන්න යහනට යනව වගේ. ඒ කියන්නෙ කාලේ ගතවෙලා යනව .ඒත් ඔබ තාමත් මට ආදරේ කියල නෑ...

සෙල්ලම් ගෙවල් තනා ගෙන
වැලි බත් උයා කවා
වල් කොල කොටා දියේ මුසු කර
තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත
මඟ හැරී
මට ආදරෙයි කියන්නකෝ
මුවඟින් අමා පිරී...

මේ ඇසුර එකතුව ඇතිවෙලා තියෙන්නෙ කුඩා කාලේදීමයි..සෙල්ලම් ගෙවල් හදාගෙන වැලි බත් උයාගෙන ඈ ඒ කාලේ ඔහුට සලකනව..තේ වෙනුවට ගස්වල කොල කඩල වතුරේ දියකරල තේ හදනව.. මේ අපි හැමෝගෙම කුඩා කාලේ..
අපි කවුරුත් මේ විදියට සෙල්ලම කරල තියනව. සෙල්ලමට හරි ඒ කාලේ ඇය ඔහුට සලකනව.නමුත් දැන් තරුණ කාලෙට ආවයින් පස්සෙ ඒ සැලකිලි නෑ. ඒව මගහැරිල.. ඔහුට ඒ ගැන තියෙන්නෙ වේදනාවක්. ඔහු ඇයට කරන්නේ ආයාචනාවක් . ඒ ආදරෙයි වෙනුවෙනුයි...

ඇන්ද රතු වළා සිතුවම්
හකුළුවා තියා
සිතරු පෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගෙයි පෙරඹර
කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ
මට ආදරෙයි කියා…

මෙතනදි ඒ ප්‍රේම යාදින්නත් එක්කල පරිසරය අපූරුවට යා කරනව. දැන් පරිසරය සැන්දෑ යාමයක්.. සිතරු කිව්වෙ සිත්තරාට. මෙච්චර වෙලා අහසෙ රතු පාට සිතුවම් ඇඳපු සිත්තරා සැන්ඳෑවට ඉඩ දීල ගිහිල්ල..කවුද මේ සිත්තරා .. ඒ තමයි හිරු.
හිරු බැස්ස කියල කෙලින්ම නොකිය ඒක කියපු ආකාරය කොච්චර ලස්සනද ...ඒ අහසෙම වළාකුළු අතරින් සීත සඳ නැගෙනව...කාල ඡේදනයක්.. දහවල - සවස ඊ ලඟට රාත්‍රිය... ඒත් තාමත් ඔබ මට ආදරේ කිව්වෙ  නෑ...මුල් කොටසෙදි  ළමා කාලෙදි.. දැන් තරුණ කාලෙදි.. ඒත් ඈ තවම නිහඩයි..

හමුවුනි අනන්ත මල්
රුව මිස සුවඳ නොතැවරී
ලියලයි හදේ පැතුම් වැල ඔබ
වෙතම හැරි හැරී
පාළුව ළැගුම් ගනී හද තුළ
 පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො
මුවඟින් අමා පිරී ...

ඔහුට තවත් ඈ වගේ යුවතියන් මේ කාලෙදි මුනගැහෙනව . ඒත් ඔහු සිතන්නෙ ඈ ගැනම විතරයි. මේ වේදනාව ඔහු තවදුරටත් විඳිනව.. ඒත් තවම ඇය ඔහුට ඇගේ ආදරේ දීල නෑ.. මුවඟින් අමා පිරී ආදරයක් ඔහු ඉල්ලන්නෙ.. සිංහල භාෂාවෙ අමා කියන වචනෙට තේරුම් කිහිපයක් තියනව. මෙතනදි අමා කිව්වෙ මිහිරි නැත්නම් රසවත් වගේ තේරුමක් . මේක තමයි මේ කතාව..

හෙන්ද්‍රි කල්දේරා කියන ගායකය ඉස්සර බිහිවුනාට , පස්සෙ  කාලෙකදි බොහෝ අයට ඔහු අමතකව ගියා.අළුත් පරම්පරාවට අළුත් කෙනෙක් උනා.ඔහොම යද්දි පස්සෙ ජා ඇල "ස්ටැන්ලීස් මියුසික්" ආයතනය සන්ෆ්ලවර් සංගීතයට ඔහුගේ පැරණි ගීත එකතුවක් ආයෙ එළිදැක්වුව.අන්න ඊට පස්සෙ මේ නම ආයෙමත් බැබලෙන්න ගත්ත.
ඇතැම් දෙනා සන්ෆ්ලවර් සංගීතයට මේ ගීත ගැයුව එකට ඔහුට අපවාද කලත් ඇත්තෙන්ම ඔහුට මේක යලි පුනර්ජීවයක් උනා. එවකට අළුත් පරපුරත් මේ ගීත බොහොමත්ම ආදරෙන් වැළද ගත්ත..
කොහොම උනත් මේ ගායකය අද නෑ.ඒත් ඔහු ඉතිරි කරල ගියපු ගීත ගොන්න නම් හැමදාමත් අපි අතර තියේවි..

ඔහු වගේ මිනිසුන් ආයෙ අපි අතරෙම ඉපදෙනවනම් ඒක කොච්චර එකක්ද .....


- ජගත් ප්‍රසන්න කුරුගම -

ලස්සන වන මල් පිපිලා


ලස්සන වන මල් පිපිලා
මදහස දෙනවා
කොවුල් ගීත උක් දඬු
දුණු දිය හඩවනවා
නව තඹ වැල්ලේ රත්
රොන්සුනු විසිරෙනවා
විජය කුමරු තම්මැන්නා පුර
එළඹෙනවා ...

නිළුපුල් දෙනුවන් ආදරයෙන්
පිපිදෙනවා
කුවෙණිය ඇගෙ වරලස සුදු
මල් ගවසනවා ....
රන් හූයෙන් රටා දමා සළුව වියනවා
සුමුදු සළුව විජයිඳු ගත
වට දැවටෙනවා .......

මිණි කිංකිනි සළඹ සලා
ඇය හිනැහෙනවා
සැලෙන දෙතොල් අතරින්
පෙම්බස් මුමුණනවා ....
හිරු කුමරුන් විල සියපත්
මුහුණු සිඹිනවා
දෙහදක බැඳි ආදර සොම්නස
උතුරනවා ....

එදා පිපුණ නිලුපුල් මල්
පෙති මැලවෙනවා
වරළස සැරසූ සුදු මල්
බිම ගිලිහෙනවා
රණ් හූයෙන් වියූ සළුවෙ
රටා ඉහිනවා
ගිලිහුනු සමනළ් තටු මත
ඇය තනිවෙනවා .....


ඒ ක්‍රිස්තු පූර්ව 543 යි.. එය මේ මනරම් ගීයට සම්බන්ධ පසුබිම් කතව ගොඩනැගෙනා වර්ෂයයි. ඉංදියාවෙන් පිටමන් කරන ලද විජය කුමරු ලක්දිව තම්මැන්නා වෙරළෙන් ගොඩබිමට සේන්දු වෙයි. ඒ ඔබ දන්නා කතාවයි.මේ ඒ ඇසුරින් සෝමතිලක ජයමහ නම් උදාර ගායකයානෝ ගැයූ ගීතයයි .

 විජයාවතරණයත් සොබා දහමත් මැනවින් කැටිකොට මේ මනරම් ගීය නිමවී ඇත.අහක දැමීමට එකදු වදනක් හෝ නොමැති මෙය වචනයෙහි පරිසමාප්ත අරුතින්ම නියම හෙළ ගීයකි..

ලස්සන වන මල් පිපිලා
මදහස දෙනවා
කොවුල් ගීත උක් දඬු
දුණු දිය හඩවනවා
නව තඹ වැල්ලේ රත්
රොන්සුනු විසිරෙනවා
විජය කුමරු තම්මැන්නා පුර
එළඹෙනවා ...

මෙතරම් ලස්සන වචන නම් මින් පෙර දැක  නැතුවාසේය..ගීයට පෙර මනරම් සිතාර් වාදන ඛණ්ඩයකි. අවට මල් පිපී හිනැහෙයි..කොවුල් ගී ඇසෙයි. එසේනම් එය වසන්තයක්ම විය යුතුය. උක් දඩු දුණ්න දරන්නා නම් අනංගයෙකි. තඹ පැහැ වැල්ල හරහා අමුත්‍තෙකුගේ අවතීර්ණය සිදුවෙයි.. ගීයෙහි අභිමානවත් ලෙස ගැයෙන්නේ විජය කුමරුගේ පැමිණීමයි.

නිළුපුල් දෙනුවන් ආදරයෙන්
පිපිදෙනවා
කුවෙණිය ඇගෙ වරලස සුදු
මල් ගවසනවා ....
රන් හූයෙන් රටා දමා සළුව වියනවා
සුමුදු සළුව විජයිඳු ගත
වට දැවටෙනවා ....

වරළස සුදු මල් ගවසාගෙන සේද සළු වියනා තරුණියකි.විජය කුමරුන් ඇයට පෙම්බැඳි බවක් කෙලින්ම නොකියවෙයි.. එහෙත් නිළුපුල් දෙනුවන ආදර පිරී ඇති කතාවක් කියැවේ..ඇය වියූ සළුවෙන් කුමරුගේ ගත සැරසේ..එසේනම් මෙතන ඔවුනවුන් ලංවී ඇති අයුරකි..සැබෑ පෙම් දමකි. මේ ලක්දිව පලමු රාජකීය ප්‍රේමයද .....

මිණි කිංකිනි සළඹ සලා
ඇය හිනැහෙනවා
සැලෙන දෙතොල් අතරින්
පෙම්බස් මුමුණනවා ....
හිරු කුමරුන් විල සියපත්
මුහුණු සිඹිනවා
දෙහදක බැඳි ආදර සොම්නස
උතුරනවා ....

දෙවන කොටසෙහි අනුමාන ප්‍රේමය මතැනදී සැබෑවක්ව කියැවේ.මිණි කිංකිනි සලඹ සොලවමින් ඇය පෙම්බස් දොඩයි.කදිම සංකේතයක් ගීයෙහි එයි.ඒ හිරු කුමරුන් සියපත් මුහුණු සිපගැනීමයි.ඒ විලස විජය කුමරුන් ඇයව සිපගන්නටද ඇත.. කාගේවත් බාදාවක් නොමැත.. මේ ප්‍රේමයෙහි ඇරඹුමයි..

එදා පිපුණ නිලුපුල් මල්
පෙති මැලවෙනවා
වරළස සැරසූ සුදු මල්
බිම ගිලිහෙනවා
රණ් හූයෙන් වියූ සළුවෙ
රටා ඉහිනවා
ගිලිහුනු සමනළ් තටු මත
ඇය තනිවෙනවා .....

අවසන ඇත්තේ වේදනාවයි...වෙන්වීමයි.. නෙරපීමයි.. ඇය තැවෙයි , හඬයි ,  වැලපෙයි...
අවට මල්ද මැලවී ඇත. ඇය තැනු සියළු සිහින මාළිගා බිමට පතිතවී ඇත.ප්‍රේමයෙහි නාමයෙන් ඇය ඔහුට පිදූ කිරුළ අද ඇයටම එරෙහිවී ඇති සැටියකි.ඉන්පසු ඇයට වූදේ ඔබ දනියි.ඉතිහාසයෙහි පළමුවරට වංචාවකින් පසු  ලක්දිව සිහසුනේ විජය රජු රජවෙයි...
ඇයගේ සෝකී හඬ රජුට නෑසෙයි...

ගීයෙහි කතාව එයයි..සබඳ ඔබ මෙය බොහෝ කලකින් අසා නැතුවා විය හැක. මංද යත් ඒ අද කිසිම මාධ්‍යකින් මෙවැනි ගී ප්‍රචාරය නොකරන නිසාවෙනි.අද බොහෝ දෙනාහට ඉතිහාසය අමතකය.එහෙත් මෙවැනි ගීයකින් හෝ එය සිහිපත් කිරන්නට පුළුවන් නම් එයද යම් සැනසීමකි .

- ජගත් ප්‍රසන්න කුරුගම -