Wednesday, July 13, 2016

අසුරු සැනින් එක මොහොතකදී ...



- අසුරු සැනින් එක මොහොතකදී -


අසුරු සැනින් එක මොහොතකදී
කාළය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑවී
ඔබේම කුළගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

සෙනෙහෙ විමානේ කිරුළ දරණ දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවණකදී හමුවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...




තාරුණ්‍යයේ අස්වැන්න ආදරයනම් එය පූදින්නට කාළයයි මේ...එය එසේනම් මේ ප්‍රාර්ථනාවද එයමැයි..දශක කිහිපයක් ඉක්ම ගියද කිසිදා වියපත් නොවෙනා ගීයකි මේ...කාළය අසුරු සැනින් වෙනස්වූවද රසවිඳීමක් එලෙසට වෙනස් නොවෙනා බවට කදිම උදාහරණයකි ශිල්පිණී යමුනා විනෝදනී ගයනා මේ ගීතය..

අසුරු සැනින් එක මොහොතකදී
කාළය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

ගීයෙහි තරුණිය තවම ආදර වන්තියක්ද නැතිනම් ආදරයක් සිතේ සඟවාගත් අයෙකුදැයි යන්න වරක සිතේ..මන්ද ගීතය පුරාම ඇත්තේ ප්‍රාර්ථනාවන් සමූහයකි.අසුරු සැනෙකින් කාළය නැවතී යලි ඇරඹෙනවානම් ... විශ්වය අළුතින් බිහිවෙනවානම් එදාට අපි අපේ වෙලා ඉපදෙන්න කියලයි ඇය පතන්නෙ..ඇයි ඒ කාළය වෙනතුරු ඉන්නෙ ...තවමත් ඇය ඇගේ ආදරය ඔහුට පවසල නැතුවාවක්ද...

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑවී
ඔබේම කුළගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

යෙහෙළියනුයි ඉඟි කරන්නෙ..ඒ ඉඟි දිනෙක සැබෑවක් වෙනවානම් කියල ඇයට හිතෙනව..මෙතනදී ආයෙමත් මුල් අනුමානයටම පැමිණෙනව..මොවුන් දැනටමත් පෙම්වතුන්නම් යෙහෙළියන් අමුතුවෙන් ඒ ගැන ඉඟි කරන්න ඕනෙ නැහැ..එහෙම යෙහෙළියන් ඉඟියෙන් කියන කෙනාගෙ මනමාළිය නැතිනම් පතිනිය වෙන්න මතු දිනකදි හැකිවේවායි ඇය ප්‍රාර්ථනා කරනවා...

සෙනෙහෙ විමානේ කිරුළ දරණ දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවණකදී හමුවේවා
ඔබේමවී මා - මගේමවී ඔබ
අපේමවී අප ඉපදේවා ...

මෙතන තමයි ගීතයෙහි ලස්සනම කොටස තිබෙන්නෙ..ඔයයි මමයි විවාහ වෙනව.. ඊට පස්සේ අපිට දරුවන් ලැබෙනව...
මේ සිදුවීම අමු අමුවේ නොකියා ඉතාමත් සෞන්දර්යාත්මක කියනා මටසිළුටු පදමාලාව බලන්න.. ඉතාමත් දිගු කතාවක් වචන හත අටකින් ගේය පදයක් බවට පත්වූ අපූරුව.. මෙතනදීත් ඇයගේ බලාපොරොත්තු පිරි ප්‍රාර්ථනයක්..

මම දවසකුත් කියපු විදියට සමාජයට සාමාන්‍ය වන පොදු කරුනක් ගීත රචනාවකදී සුවිශේෂීව ගීතයකට පෙරළිලා රටක් සනසන අරුමයනම් මෙයයි.. අසන්නාගේ සිත් වලට මහ මොකද්දෝ කිති කැවීමක් එක් කරමින් ගීතය ලීවේ ප්‍රවීණ නිවේදිකාවක් මෙන්ම ගේය පද රචිකාවියක් වන කුසුම් පීරිස්..

ගීතයට https://youtu.be/IepL90Sj__o


- ජගත් කුරුගම -
Jagath kurugama @ facebook
11/07/16

No comments:

Post a Comment