Saturday, July 9, 2016

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය



වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ලවැළි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැඟෙනා ... හෝරාවේ ...

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා ....

දොරඟුළු හැරලමු අපි දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ ....



නිවාඩුවෙ ඉන්න හින්ද  කියවන්න පොතක් අතට ගත්ත..පොතේ නම තමයි " පියැසි කවුළුව " . මේ පොත ලියල තියෙන්නෙ ප්‍රවීණ ලේඛකයකු , නාට්‍ය කරුවෙකු පුවත්පත් කලාවේදියකු මෙන්ම අපට සිටින ප්‍රවීණ ගේය පද රචකයෙකු වන  " කපිල කුමාර කාලිංගයන් විසුනුයි..

ඔහුගේ ලේඛන ශෛලිය මෙන්ම ගීත රචනා ශෛලිය ගැනත් මා බෙහෙවින් ප්‍රිය කරන නිසාවෙන්ම මා ඔහුට කතාකලා ..පොත ගැන කතා කරද්දි කවදත් ගීත වලට ඇළුම් කරන නිසාදෝ ඉබේටම මාතෘකාව පොත් වලින් ගීත වලට හැරුණා..
ඉහතින් දක්වා ඇත්තෙ කපිල කුමාර කාලිංගයන් අතින් ලියවුණු මධුර මනෝහර ප්‍රේම ගීයක්..අපි ඒ ගැන කතා කලා ...

ඔය ගීතය ලියැවුනේ අසූවෙ මුල් භාගයේදි විතර..ඒ කාලෙ ගුවන් විදුලියෙ වැඩසටහනක් තිබුණ " සොඳුරු සෙවණ "  කියල..ඒක ඇතුලෙ " කල්පනා ගීතය " කියල ගායකයෙකුගෙ පොඩි ගීතමය වැඩසටහනක් තිබුණ..මෙය සජීවී ප්‍රචාරයක්..ඒ සඳහා එඩ්වඩ් ජයකොඩිට ගීයක් ඕන වෙලා තිබුණ .. " වසන්තයේ අග "  මා අතින් ලියැවුනේ එඩ්වඩ් ට මෙයට සජීවීව  ගයන්නයි..එඩ්වඩ් මේ ගීය එදා ගිටාර් එකක ආධාරයෙනුයි ගැයුවෙ..කොහොමහරි ඊට වසර දෙකකට පමණ පසු එඩ්වඩ් මේ ගීතය ඔහුගෙ කැසට් පටයක් සඳහා පටිගත කරල මට පණිවිඩයක් එව්ව  " අන්න ඔයාගේ සිංදුව මම කැසට් එකකට කිව්ව අහන්න " කියල...
මේ ගීය ඇත්තටම හරිම වාසනාවන්ත ගීතයක්..දශක තුනකුත් ඉක්මවූවත් අදටත් හරිම ජනප්‍රියයි...

ඔබගේ මුල්ම නිර්මාණය මතක් කලොත්....මගේ පැනයට කපිල කුමාර කාලිංගයන් පිළිතුරු දුන්නෙ මෙහෙමයි..

මම ඉස්සර වේදිකා නාට්‍ය කලා..ඒ නාට්‍ය වලට ගීත ලියුවෙ මමමයි..ඉතිං මට ඒ කාලෙ තේරුම් ගියා මට ගීත ලිවීමේ හැකියාවක් තියෙනව කියල..ඒ කාලෙ ගුවන් විදුලි සරල ගී ගායකයෙක් සිටිය නවරත්න අබේකෝන් කියල..ඔහුටයි මුලින් ගීතය ලීවේ..හැබැයි එය ජනප්‍රිය වුනේ නැහැ..
මම පදිංචිවෙලා ඉන්නෙ මහනුවර කටුගස්තොට ( අදටත් ) නිසා කොළඹත් එක්කල තියන ගණුදෙනු සීමිත උනා..ඔය කාලේ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් විදුහලේ ගුරුවරයෙක්...සංගීතය කලාට ඔහු එම පාසලේ චිත්‍රකර්ම ගුරුවරයා..ඔහු " සුජාතා අත්තනායකට " ගීත හතරක් කරමිනුයි ඒ දවස්වල හිටියෙ..ඉතිං ස්ටැන්ලි පීරිස් මහතා මටත් ඉන් එක් ගීයක් ලියාදෙන්න කියල කිවුවා..මගේ ඉහේ මලක් පිපුන වගේ දැණුන ..මොකද එවකට මම අවුරුදු දහ අටක තරම් ආධුනිකයෙක්..සුජාතා අත්තනායක කියන්නෙ ප්‍රවීණ ශිල්පිනියක්. .එදා මම සුජාතා අත්තනායකට ලිවූ ගීය තමයි " දෑසේ අංජන තවරා නෑ " කියන ගීතය..

ප්‍රවීණ ගේය පද රචක කපිල කුමාර කාලිංගයන් තම අතීතය පිළිබඳව මතක් කලේ එහෙමයි..කාළයක් ලක්බිම පුවත් පතෙහි සේවය කොට දැන් එයින් ඉසිඹු ලැබ සිටිනා ඔහු මේ දිනවල ඔහුගේ නවතම නාට්‍යයෙහි කටයුතුවල නිරතවෙමින් සිටිනා බවයි පැවසුවේ ..එමෙන්ම ඔහු ලියූ සියළු ගීත ඇතුලත් පොතක් නුදුරේදීම එළිදැක්වීමට බලාපොරොත්තු වන බවකුත් සඳහන් කලා...ඔබ වැනි විශිෂ්ඨ ගණයේ ගීත රචකයත් සැබවින්ම රටට වාසනාවක්...

ඔබට දිගාසිරි වේවා ..!

- ජගත් කුරුගම -

No comments:

Post a Comment