Monday, November 14, 2016

මුහුද ලස්සනයි






මුහුද ලස්සනයි
මුහුද හරි ලොකුයි
හොහෝ හොහෝ හොහෝ
හෝව නතර වෙන්නෙ නෑ ....

රැල්ල ඇදෙනවා
වැල්ලෙ වැදෙනවා
සමන් මොට්ටු වගේ වතුර
බිංදු ඉහෙනවා .....

මුහුද ලස්සනයි
මුහුද හරි ලොකුයි
හොහෝ හොහෝ හොහෝ
හෝව නතර වෙන්නෙ නෑ ....


මුහුද කියන්නෙ කවදාවත්ම කතා කරල ඉවරකරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි...ඒකත් හරියට මුහුද වගේම විශාලයි..මේ මුහුද ගැන කියැවෙන මේ ගීතය මගේ සිහියට ආවෙ දවසක් අහම්බෙන්..ඊට පස්සෙ මම මේ ගීය ගැන හොයන්න ගත්ත .. වාසනාවකට වගේ එය අන්තර්ජාලයෙහි තිබිල හමුවුනා...ඉතිං ඒ මුහුද ගැන කියවෙන මේ ගීය ඔබත් එක්කල බෙදාගන්න ඕන කියල හිතුණ .. ඒ නිසාම ඔන්න මේ පිටුවෙ මේ ගීය පළකලා...

මුහුදේ වතුර බිංදු එකින් එක ඉහෙන හැටි රළ බිඳෙන හැටි පෙණ නගින හැටි මේ ගීතය අසද්දි මට දැනෙන්න උනා.... මුහුද කුඩා කාලෙදි ළමයෙකුගෙ මනසට මහා විශාල විචිත්‍ර හැඟුමන් උපද්දවන තැනක්..මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අපේ ගම කෘතියෙන් ළමයින්ගේ කෞතුක ලෝකයක් ගැන කියැවුනු පරිච්ඡේදයක් තිබුණ..මට මතක හැටියට ඒකෙනුත් කියැවුනේ ළමයින් සහ මුහුද ගැන...ඉන් පස්සෙ මට මතකයි කුලසේන ෆොන්සේකා මහතා ලියපු " කල්ලන්දූවේ මුතු කොල්ලය " කියන පොත.. ඒකෙත් ළමයින් සහ මුහුද පිළිබඳව අපූරු කතාන්දරයක් තිබුණ ...

කොහොම උනත් මේ මෑතකදි මුහුද සහ ළමයින් පිළිබඳව කියැවුනේ ඉන්දික ෆර්ටිනැන්ඩුගේ " හෝ ගානා පොකුණ " කියන චිත්‍රපටයෙන්..මේ හැම දෙයක්ම එකතු කරල බලද්දි හරියටම මෙන්න මේකයි කියල් කියන්න බැරි අරුම පුදුම ලස්සනක් සහ ආකර්ශනීය බවක් මුහුදෙ සැඟවිලා තියනවා කියල හිතෙනවා ...

මේ ගීය ගයපු ගායකය විදියට අන්තර්ජාලයෙහි සඳහන් වෙන්නෙ " ලලිත් කුමාර දවුන්දසේකර " කියල නමක්..අද ඔහු කොහේ කොතන ඉන්නවද දන්නෙ නෑ..ගීතයෙහි වයසත් එක්කල බලද්දි ඔහු දැන් වැඩිහිටියෙක් වෙලා ඇති..ඇතැම් විට මැදි වියේ....ඒ එච් පියසේන ලියූ මේ ගීය සංගීතවත් කලේ ඔස්ටින් මුණසිංහ..

හිතට පුංචි වේදනාවක් වගේ දැනෙන්නේ මේ සින්දුව අහපු මුල් කාලෙට ආයෙත් යන්න බැරි බව මතක්වෙන විටයි ...

- ජගත් ප්‍රසන්න කුරුගම -

1 comment: