Monday, December 5, 2016

බණ්ඩාර කේ විජේතුංග



ඔබ වෙනුවෙන් ලිව් දසක් ගී වැල්
දිය ඇදි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වඳුලක සැඟව ගියාදෝ ...

දෑත් එකතු කොට මහවැලි ඉවුරේ
ගෙවූ සැඳෑවන් අමතක වීදෝ
තුරු සෙවනැලි යට නිසල නිහඩවූ
දෑස් කතාවන් අමතක වීදෝ ...

යලිත් වතාවක් ඔබේ සිඟිති රුව
නොදැකම සදහට නෙත් පි‍යවේදෝ
සසර පුරා යන මේ දිගු ගමනේ
කවදා කෙලෙසක යලි හමුවේදෝ ..



හීනියට හමන සුළඟක් වගේ හිතේ දැවටිල ඇදී යන ගීතයක් මේ...දවසක අහල දවසකින් අමතක වෙන ගීත අතරේ මේ ගීතය ආයේත් හොයාගෙන ගිහින් ඇහුව...ගොඩාක් දේවල්  මතක් උනා..මතකයත් එක්ක සමහර සිද්දි හිතට දැනෙන්නෙ හරියට හිරිකඩ වැස්සක් වගේ..

ඔබ වෙනුවෙන් ලිව් දසක් ගී වැල්
දිය ඇදි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වඳුලක සැඟව ගියාදෝ ...

මේ ගීය බොහෝම අතීතයකට උරුම කම් කියපු ගීයක්...ආදරයෙදි හිමිවීම් වලට වැඩිය අහිමිවීම්ම තමයි වැඩි..එහෙම උනාමත් ඒකෙත් මොකද්දෝ සුන්දර කමත් තියනවා...මිල්ටන් මල්ලවආරච්චි කියන්නෙ ලංකාවෙ ඉස්සෙල්ලම කැසට් පටයකට ගී ගයපු ගායකයා..." සඳෙන් එහා " නමින් ඔහුගෙ මුල්ම කැසට් පටයේ අඩංගු ගීයක් තමයි මේ...

මහවැළි ගඟ අසල මේ කතාවට අතීතයක් තිබුණ ..මහවැළි ගඟ අසබඩ පෙම් කරපු පෙම්වතුන්ට මේක දැං මතක් වේවි..ඇත්තටම ඒ වගේ පරිසරයක ඉන්නකොට දෑස් කතාවන් මිසක මුවින් කතාකරන්න අමතක වෙනවනෙ..

ඒත් ඒවගේ ගීත ලියාපු ඔහුත් දැං බොහෝ දෙනෙකුට අමතක වෙලා... කාලය ගතවෙන වේගයත් එක්කල ගොඩාක් ලස්සන සින්දු ලියල ගියපු ඔහුව සමහරුන්ට අමතකයි..ඔහු තමයි බණ්ඩාර කේ විජේතුංග ..ගිත රචකයෙකු ,  ගුවන් විදුලි නිවේදකයෙකු , ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු ආදී බොහෝ මාධ්‍යන් තුල සැරිසැරූ බණ්ඩාර කේ විජේතුංගයන් ලියූ බොහොමත්ම ජනප්‍රිය ගීත කොච්චර තියනවද...ඒත් අවාසනාවට ගීත එක්කල වර්ථමාන මාධ්‍යය ඔහුගේ නමවත් ප්‍රචාරය කරනවද දන්නෙ නෑ...

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි..
සඳ උතුරා ගංඟාවේ ..
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා..
සඟවාගනු මැන ඔබ රුව සොඳුරියේ..
මහද පෙම් විලේ..
දිනෙන් දින ඔබ මා වෙතින්..
ඔබද මාද විය ...
රුවන් තොරණ් තනා...
මිහිදුම් සළුතිර පැළදි නමුනුකුල ..

ආදී බොහොමත්ම අපූරු ගීත ඔහු අතින් රචනා උනා...වාසනාවකට වගේ ඒ කාලයේ ඒ ගීත ගුවන් විදුලියෙන් නිතරම ප්‍රචාරයත් උනා...ඒ ගීත එක්කල ජනප්‍රිය උනේ නම් ඒ ගීත ගයපු ශිල්පීන් ශිල්පිනියන්..ඒ නිසා අද බොහෝ දෙනෙකු ඔහු ලියපු ගීත ගැන මිසක් ඔහු ගැන කතා කරන්නෙ අඩුවෙන්. 1939 ජනවාරි 28 ඉපදුනු බණ්ඩාර කේ විජේතුංගයන් 1990 ජනවාරි 03නිදා අපව හැර ගියා...තාමත් ඔහු වටා හිටපු ඔහුගේ සමීපතමයන් ඔහු ගැන ඉඳ හිට මාධ්‍යයයෙන් කතා කරනව...

කාලයත් එක්කල වෙනස්වෙන ලෝකයක නොවෙනස්වෙන ගීත ලියපු ඔබ ආයෙත් එන්නෙ නෑ කියල දන්නව... ඒත් මිනිස්සුන්ගෙ හිත්වල තවරල ගියපු ඒ ගීතවල මිහිරියාව තවත් කාලයක් ඒ වගේම තියේවි ....

- ජගත් ප්‍රසන්න කුරුගම -

1 comment:

  1. බණ්ඩාර කේ. විජේතුංගයන් ගැන මමත් විස්තර හොයල බලන්න කැමති අයෙක්. ඔහු ගැන ඉතා සුන්දරව, කෙටියෙන් සරලව ඉදිරිපත් කරල තියෙන මේ ලිපිය වර්තමාන පරපුරට ඉතා වටිනවා.

    ReplyDelete