Thursday, December 22, 2016

තරු අරුන්දතී



තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා ...

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා ....

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා ..

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා ..

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා ....



ප්‍රේමය සහ වියෝගය එකට අත්වැල් බැඳ ඇවිද යන යුවලක් මෙනැයි මා කියමි..
ඔබ මට යම්තාක් එරෙහි නොවෙතැයි සිතමි..
එසේ ලැබී නොලැබී ගිය ප්‍රේමයන් පිළිබඳව අපි සිහින දකිමු..ඒ සිහිනයන් සැපයැක්ම යැයි සිතා නිරන්තර ඒ මතකයන් හා සැරිසරන්නෝ වෙමු ...ප්‍රේමයෙන් බාහිරව ගිය තැන්හිදීද එය එසේමම වෙමු...ආචාර්‍‍ය අජන්තා රණසිංහයන් විසින් රචිත මේ ගීතයෙහි පද හා නිරන්තර ගැටී ඒ වේදනාවන් සැපතක් කර රසවිඳින්නන් අතර මමද එක චරිතයකි..ඔබද එක් චරිතයකි...

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා ...

කිසියම් වූ කැළඹීමකින් අනතුරුව සියල්ල නිහඩවී ඇති සැටියකි..නිශ්චලතාවය මැද සැමදා දිදුලන අරුන්දතී තාරකාව සිසොල්මන්ව බලා හිදී...මහා වෘක්ෂයෝ සිය ලඳළු අගින්  පිණි බිඳු සෙමින් සලති..මේ සංකේතයන් සිතට ගෙන එන්නේ සාංකාවකි..මහා වෘක්ෂයන්ගේ වැලපීම  පිණි පොඳක කඳුළු ලෙස සඟවා ඇත....

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා ....
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා ..

ඇය පිළිබඳව ඇත්තේ සැමරුමක් පමණි...පෙරදා ඈ බලා සිටි කවුළුව සිතට ගෙන එන්නේ වේඳනාවකි...ඇය නැතද තවත් බොහෝ ලඳුන් ඇතද ඔහුට දැනෙනුයේ තනිකමක් පමණි...( බොල් හුළඟ යන වචනය ඊ තලයක් සේ ප්‍රභලව ගීය හා බද්ධ වී ඇත ....)
ඇය පිටව ගොස් ඇත...ඒ හදවතෙහි කවුළු හැර කිසිවෙකුටවත් නොදැනෙනා ලෙසටය..මෙහි පාන්දරින් යන වදනෙන් අර්ථවත් වනුයේ රහසෙහිම පලා යාමෙකි.. නොදන්වා , නොකියා නික්මී යාමෙකි ...

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා ..
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා ....

හංස ගීතය යනු අවසානයකි..ජීවිත කාලයේම හඬ නොනඟන හංසයා හඩ නගන්නේ අවසාන කාලයේදීය..එය සාහිත්‍යයහි එන කරුණකි...මෙහෙදී ඔහුගේ වැලපෙන්නාවූ හදවත කැටපත් පවුරක් මෙනි..කැටපත් පවුරක ලියැවෙන කුරුටු ගී වෙනුවට එහි ලියනුයේ හංස ගීතයයි..එය ඔහුගේ සෙනෙහසෙහිද ජීවනයෙහිද අවසානයයි... නමුදු ඒ අවස්ථාවෙහිදීද ඔහු ඇයව අපේක්ෂාවෙන් සිටියි...උදෑසන වැටෙන මුල්ම හිරු රැස් කෙඳිසේ ඇය නැවතත් ඔහු ලොවට වඩිතැයි ඔහු ප්‍රාර්ථනා කරයි...මෙහි දැක්වෙන සොබාදහමින් ගත් සංකේතයෝ ඉතාමත් විශිෂ්ඨ ලෙස මනසට ගීය බද්ධ කරවයි..

තවත් මල් පිපී රොණ් පිරි ඇත...නමුත් ඇයගේ වියෝව ඔහුට ගැටළුවකි...ඇයගේ  හදිසි නික්මීම ගැන ඔහු කල්පනා කරයි...ඇය කොහේ ගියේදැයි සිතයි....තරු අරුන්දතී යනු කවුද.....ඇයද..?
නෙතු පියන් වසා සඟවා ගත්තේ ඇයගේ සෙනෙහසද....?

ස්ථායී කොටසක් සහ අන්තරා කොටස් දෙකක් සහිත පොදු ආදර ගීතයෙන් බැහැරව කාව්‍ය අනුරූප ලෙස නිමැවුන මේ ප්‍රේම වියො ගීය කෙතරම් නම් මනස හා යාවී ඇතිදැයි බලන්න ...පණ්ඩිත් ඩබ් . ඩී අමරදේවයන්ගේ ස්වරයෙන් ගැයෙනාවූ මෙය හිතට ගෙන එන්නේ සිහිල් සුළඟකින් ගෙන එන්නාවූ සැපයකි...ස්ටැන්ලි පීරිස් නම් ප්‍රතිභාපූර්ණ සංගීතවේදියාණන් විසින් ස්වර රටා එක් කල මේ ගීය සැබවින්ම මිල කල නොහැකි වස්තුවකි...

ගීතයක් ගීතයකින් මුදවා හදවත රිදවනාවූ අරුන්දතීය කිසිදා කිසිවෙකුටවත් අමතක නොවෙනා මතකයකි ...

- ජගත් ප්‍රසන්න කුරුගම -

No comments:

Post a Comment