Thursday, December 15, 2016

කන්ද උඩින් අටවක සඳ



කන්ද උඩින් අටවක සඳහිනාවෙනව
මෝදූ වෙන්ඩ
රෑන් පිටින් බට්ටිත්තන් පියාඹනව
කූඩු වෙන්ඩ
අඬති ළමා වසු පැටියෝ උණුසුමකට
ගාල් වෙන්ඩ
එන්න පිලට සැනසිල්ලේ ඇහැ
ඩිංගක් පියාගන්ඩ....

පැදුර පුරා රැස්මාලා අටවකදා
හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර හිමින්
නිමෙයි පහන් තිරේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ ...

පිඳුරු පියස්සේ තැවරෙන කළාමැදිරි
කාන්තියේ
නිවී පහන්වී දුරුවෙයි සෝක
තැවුල් කාන්සියේ
හිම කැට මිදින හීතලේ
හීතල නොමැත රෑ පැලේ ....


         කොතනිනද මේ කතාව පටන් ගන්නේ.. ඇත්තටම මේ ගීතය ලොකු කුඩා සැවොම නිතැතින්ම අහල තියන ගීතයක්..ඒ උනාට මේ ගීතය අයිති වෙන්නේ අනිකුත් ප්‍රේම ගීත වගේ සාමාන්‍ය ගණයට නම් නෙමෙයි...මේ ගීතය දිහා මතුපිටින් බලද්දි ඉතා ලස්සන භෞතික වස්තු ගොන්නක් ඔබට පේනව ඇති..සැන්දෑවක්.. කුරුල්ලන්.. වසු පැටවුන්..ගේ පැලක් ... . කාන්තාවක්... මේ වගේ පරිසර වස්තු සමූහයක් මේ ගීය පුරාවටම සමබරව විසිරිලා තියනව...දැං බලමු කතාව...

කන්ද උඩින් අටවක සඳහිනාවෙනව
මෝදූ වෙන්ඩ
රෑන් පිටින් බට්ටිත්තන් පියාඹනව
කූඩු වෙන්ඩ
අඬති ළමා වසු පැටියෝ උණුසුමකට
ගාල් වෙන්ඩ
එන්න පිලට සැනසිල්ලේ ඇහැ
ඩිංගක් පියාගන්ඩ .....

මෙතැන ඇත්තෙන්ම තියෙන්නෙ සැන්දෑවක්..සැන්දෑවක් කියන්නේ ඉර බැහැල ටික වෙලාවක්..රාත්‍රියට ආසන්නයි...කුරුල්ලන් රංචු පිටින් කැදලි කරා පියඹනව..ඒ වගේම අටවක සඳ කන්ද උඩින් පායනව..මේ පරිසරය මැද තරුණියක් නැතිනම් කාන්තාවක් පිරිමියෙකු නිදි යහනට කැඳවනව..ළමා වසුපැටවුන් උණුසුමට අඩනව කියල මෙතනදි කියවෙන්නෙ ඉඟියක් විදියට...ඇත්තෙන්ම මේක හරිම ශෘංගාරාත්මක ගීයක්....මෙතන ඇය යහනට කැඳවන්නේ තම සැමියද නැතිනම් වෙන අයෙක්ද කියල පැහැදිලි නෑ...අපිට ඒව හොයන්න ඕනත් නෑ....ඊළඟට..

පැදුර පුරා රැස්මාලා අටවකදා
හීන් හඳේ
කටින් පිඹින්නට ඉස්සර හිමින්
නිමෙයි පහන් තිරේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ ...

දැං රාත්‍රිය උදාවෙලා....ඔවුන් ඔවුන්ගේ ඇසුරේ පසුවෙනවා.. අටවක හඳ හීනියි දිගයි ... රැස් මාලා වැඩියි... ඒ රැස් , වහලේ සෙවිලි අතරින් පැදුරට වැටෙනව...ඔවුන්ගේ එක්වීමට අනුබලයක් විදියට පහන සිළ ඉබේටම නිමෙනවා....
දැං හරිම විචිත්‍රවත් රාත්‍රියක්... අඳුරු වටපිටාවක වහලේ සිදුරු අතරින් හඳේ රැස් පැදුරත වැටිලා...
ඒ අතරින් ඇසෙන්නේ  ගොපළුනගේ වස්දඬු රාවයක්....මේ සියල්ල මැද ඔවුන්ගේ එක් වීම සිදුවෙනව ....

පිඳුරු පියස්සේ තැවරෙන කළාමැදිරි
කාන්තියේ
නිවී පහන්වී දුරුවෙයි සෝක
තැවුල් කාන්සියේ
හිම කැට මිදින හීතලේ
හීතල නොමැත රෑ පැලේ ....

පිඳුරු පියස්සේ කළාමැදිරියො වහල දිලිසෙනවා.. ඔනන ඉස්සර කොටසේ හඳ එළිය පැදුරට වැටුනේ මේ පිඳුරු පියස්ස අතරින් කියල අපිට දැං වැටහෙනවා...වහලේ එළිය දෙන කළා මැදිරියො ඇයට පේනවා..එහෙම පේන්න නම් ඇය සිටින ඉරියව්ව ඔබට තේරෙන්න ඕන ..මේ මොහොතේ සියළුම සොක තැවුල් කාස්සි දුරුවෙන මොහොතක්...
හිම කැට මිදෙන තරම් සීතලක් එළියෙ තිබුනත් පැල ඇතුලෙ සීතලක් නෑ..එතන තියෙන්නෙ මේ මොහොතේ උණුසුමක්..

වචනෙන් වචනේ මේ වගේ ලිහල ගත්තම පස්වන මණඩලයේ සිනමා පටයක් වගේ කියල ඔබට හිතුනට මහැදුරු සුනිල් ආරියරත්නයන් මේ ගීය රචනා කරල තියෙන්නේ පුංචි ළමයෙකුට උනත් රසවිඳින්න පුළුවන් විදියෙ සංයමයකින්..මේකෙ අසභ්‍ය වචන නෑ දෙපැත්ත කැපෙන වචන නෑ...තියෙන්නෙ ස්වභාව ධර්මයෙන් ගනිපු ව්‍යංග්‍යර්ථ විතරයි...හැබැයි මෙහි කියැවෙන කතාව සරල නෑ...

විශාරද නන්දා මාලිනිය තම කටඬෙන් උපරිමේට සාධාරණයක් කරපු මේ ගීතයට වෙනත් ආදේශක නෑ..ඉතිං අපිට ඇත්තෙන්ම අද ඉතිරි වෙලා තියෙන්නෙ එදා ඇසුන මේ ගීත රසවිඳීන එක විතරයි..මොකද අද මේ වගේ ගීත බිහි නොවෙන නිසා..එක අතකට ඒක හොඳයි...නිකමට හිතන්නකෝ මේ සිදුවීම අද ඉන්න කෙනෙක් ලිව්වනම් කොහොමට ලියාවිද කියල ....

- ජගත් ප්‍රසන්න කුරුගම -

No comments:

Post a Comment