Monday, October 17, 2016

නා කොල අන්දම්



නාකොල අන්දම් පෙන නොවටින්නේ
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී ....
සමාවෙයං නයි හාමී .....

දරමිටි බදිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....

ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....


නයා නැත්නම් නාගයා අපේ සංස්කෘතිය කෙරෙහි බැඳී ඇත්තේ මහා අපූර්ව විදියට..සර්පයෙක් උනත් නාගයා කෙරෙහි මිනිසුන් තුල ඇත්තේ ගෞරවයක්..මේ සටහන නාගයා හා අදාල ඉහත ගීතය පිළිබඳවයි..

මේ ලඟදි කෙනෙකු මේ ගීය ගැන පවසා තිබුණෙ ගැරඬියෙකු විසින් නාගයෙකුට කරනා ඇවටිල්ලක් විදියටයි  .මේ අදහස පිළිගන්න මගේ හිත මැලිකමක් දැක්වූ නිසාම මෙහෙ අග මුල හොයා යන්න කල්පනා කලා ...

විශාරද කපුගේ ගායනා කරන මේ ගීය දහ අට වන්නමට අයත් නයියඩි වන්නම ඇසුරෙන් නිර්මාණය කලේ ප්‍රවීණ ගේය පද රචක කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් විසිනුයි..කාලෙකට පස්සෙ රත්න ශ්‍රී විජේසිංහ මහතාහට පණිවිඩයක් තියල මම ඉවසන් බලා උන්න...
උදේ පාන්දරින්ම ඇහැරුනේ මම බලාපොරොත්තු උන ඇමතුමෙන්..
" ජගත් මොනවද දැනගන්න ඕන කීවේ..." සුපුරුදු ආදරණීය හඩ අනිත් පැත්තෙන් ඇහුන ..
මගේ ඉල්ලීමට අනුව රත්න ශ්‍රී විජේසිංහ මහතා ගීය පිළිබඳව පැහැදිලි කලේ මෙන්න මේ  විදියටයි ..

" ඔය ගීය කපුගේගේ  " ඉරබටු තරුව " කැසට් එකට ලිව්ව එකක්..ඉතිං ඕකෙ විස්තර කියනවනම් මෙහෙමයි..ඕක මේ සමාජ පිළිබඳව උත්ප්‍රාසයකින් ලියැවුන එකක්.."

නාකොල අන්දම් පෙන නොවටින්නේ
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී ....
සමාවෙයං නයි හාමී .....

" නයෙක් පෙනේ කලාම හරියට බෝ කොලයක් වගෙයි..පෙනේ හකුලාගෙන ඉන්නකොට නා කොලයක් වගේ දිගටි හැඩයක් ගන්නව..ඉතිං මේ සමාජයේ ජීවත් වෙන්න ඕනනම් අපිටත් අර පෙනේ පුප්ප්පන් ඉන්න නයා වගේ වෙන්න ඕන..හැකිළුන පෙනයක් දරා ඉන්න නයා වටින්නෙ නැහැ... සමාජයේ  ඉන්න අමාරුයි.."

දරමිටි බදිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....

මෙතනදි කියන්නෙ අර බෞද්ධ කතාවක එන සිදුවීම..ගැහැනියක් නයා ගෙන් දර මිටියක් ගැටගහගෙන යන කතාව..ඒ කතාවෙ නයාට එහෙම වෙන්නෙ ඒ සතා ඉවසපු හින්දයි..ඉතිං මේ වගේ ඉවසන්න ගියොත් දරමිටි වලට බඳීවි ... වලං තියන්න දරනු වලට ගනීවි ... ඒ හින්දම ගැරඬියො නටන්න පටන් ගනීවි වගේ අදහසක් තමයි මෙතනින් කියැවෙන්නෙ...මේක මේ සමාජයට කියන දෙයක්...ඉතිං මේ ගීයෙ එන පුද්ගලයා ඒ නිසා නයාගෙන් පෙනේ ඉල්ලනව ...."

ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි .....
පෙනේ දියං නයි හාමි .....

" මේ ලෝකේ හැමතැනකම විස පිරිලා..ඉතිං එහෙව් ලෝකෙක් නුඹේ විස මොන විසක්ද කියලයි මොහු නයාට කියන්නේ...සුරම්‍යවූ සර්ප විමානෙ කියන්නෙ අපි ජිවත්වෙන සමාජෙට..ඉතිං මෙහෙව් සමාජයක ඉහ ගහගෙන ජීවත් වෙන්න පෙනේ දෙන්න කියලයි ගීතයෙන් ඉල්ලන්නෙ...."

රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ගීතයෙහි එකින් එක පද පේලි තේරුම් කලේ ඔන්න ඔය විදියටයි...ඉතිං ඇත්තටම ගීතයක් කියල නිකම්ම වචන පේලී ලියල හදන ගීත අතර මෙවන් තේරුම් ඇති ගීත තව කොතෙකුත් ඇද්ද..ඒත් අද ඒ ගී වලින් අපට ඇසෙන්නෙ කීයෙන් කීයක්ද...

මේ ගීතයට විෂය වුනු නයියඩි වන්නම නොදන්න අයට දැනගන්නත් එක්කල දාන්නම්.. සමහරවිට ඔබත් මෙය නටල ඇති. බලන්න මතකද කියල..

නයියඩි වන්නම

ඉපිද එබෝසත් නාලොව වාරෙක
පැහැද රකිති සිල් නරලොව වනයෙක
බොවද දෙමින් අල්වා අහිකුන්ඨික
පැසක ලමින් නටවා දුක් දී නෙක

අන්දමකින් ඉඳ පෙනය නගායේ
සන්දම මෙන් දැහැඩින් වකලායේ
රන්දම මෙන් ගත වටින් දිලීයේ
පන්දම ලෙස දන දී නටවායේ

බෝකොල අන්දම් පෙනය නගායේ
නාකොළ අන්දම් පෙන හකුලායේ
ලෝතුල රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙරෙ සිට ආයේ

දිගා සිරුර කොටසක් හකුලා මුඩි
නගා ගතය ලෙලවා කරමින් දැඩි
රඟා සිරින් සිඹිමින් නදයෙන් වැඩි
වගා අසන් මෙම වන්නම නයියඩි

- ජගත් ප්‍රසන්න කුරුගම -
jagath kurugama @ facebook

1 comment:

  1. ජගත් මේ වචන වල තේරුම කියලා දෙන්න පුළුවන් ද? "සන්දම මෙන් දැහැඩින් වකලායේ"

    ReplyDelete