Tuesday, March 21, 2017

යාළු බාල සඳේ ..



යාළු බාල සඳේ කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත්
නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා
මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වළා
පෙලේ අඳින්නේ .....

දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ  සිටින නුඹට පමණි
පෙනුනෙ යාළු ....
විරහ තාපයේ දැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ
දැනුණේ යාළු .....

ඈ දැකුමට නලියන සිත
ඇගෙ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේන්
හිනැහෙන් යාළු ......


තනිකම සහ ප්‍රේමය...ප්‍රේමය සහ සඳ .
මේ ත්‍රිත්වයෝම එකතරා අන්දමක එකිනෙකට බැඳී ඇති සැටියකි...රැයෙහි මා අහස දෙස බලමි.. මට නොයෙකුවූ සිතිවිලි ගලා එයි..සඳ පායා දිලෙයි.ඒ සඳ කුඩා දරුවෙකුට සමීප වන්නේත් තරුණයකුට සමීප වන්නේත් වැඩිහිටියෙකුට සමීප වන්නේත් විවිධාකාර අයුරකිනි..ඒ තරමටම සඳ අපේ ජීවිත හා සෑම කාලයකම බැඳී තිබෙනා වස්තුවකි..

ඉහත ගීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්හට වස්තු වූයේ තවත් ආකාරයකිනි..එතුමන් අතින් ලියැවී සෝමතිලක ජයමහ නම්වූ මහා ගායකයානන් මුවින් එය ගායනා වූයේද වෙනස්ම අයුරකිනි.මීට දශක ගනනාවකට ඉහතදී නිර්මිත වූවත් මේ ගීය අදටත් සඳ සේ නොවෙනස්ව අපට රසයක් ගෙනෙනවා නොවේද..

යාළු බාල සඳේ කඳු මුදුනේ
මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත්
නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා
මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වළා
පෙලේ අඳින්නේ .....

මෙතන උක්ත පුද්ගලයා තරුණයෙකි.ඔහු සඳ දෙස බලා සිටී..ඔහුට සඳ මිතුරෙකි...යාළු බාල සඳේ යැයි ඔහු සඳ අමතයි..බාල සඳ යනු අඩ සඳයි..ඒ අඩ සඳින් ඔහු සිය පෙම්වතියගේ නළල් තලය දකියි..ඈ සිටින තැනට ඔහු රැගෙන යන්නැයි ඔහු සඳට පවසයි..අනුමාන වශයෙන් වෙන්වීමක් නැත හොත් ඈත්වීමක් ඔවුන් අතර වී ඇති සැටියකි..

දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ  සිටින නුඹට පමණි
පෙනුනෙ යාළු ....
විරහ තාපයේ දැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ
දැනුණේ යාළු .....

මේ කොටසින් අපේ අනුමානය නිවැරදි වේ..ඈ වෙසෙන්නෙ ඔහුගෙන් දුරකිනි. නැත්නම් කුමන හේතුවකින් හො ඇය ඔහුගෙන් ඈත්කර ඇති සෙයකි. ඔහු මෙන්ම මෙවේලෙහි ඇයද සඳ දෙස බලා හිදිතැයි ඔහු සිතයි..තමන්ගේ තනිකම තේරුම්ගත් මෙලොව සිටින එකම කෙනා සඳ යැයි ඔහු සිතයි..ඇත්තෙන්ම වෙන්වීමක ඇති විප්‍රලම්භ රසය පරිසර වස්තූන් හා එකවී ඇති අපූරුව මොනතරම්  සෞන්දර්යාත්මකද....

ඈ දැකුමට නලියන සිත
ඇගෙ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේන්
හිනැහෙන් යාළු ......

ඔහුගේ සිත ඇය දැකගන්නා තුරු තැවෙයි..වැලපෙයි..නමුත් කරන්නට දෙයක් නොමැත..ඇය ඔහු අසල නොමැත.නමුත් සඳ දෙස බලන ඔහුට ඒ සඳවත තුලින් තම පෙම්වතියගේ මුහුණ පෙනෙයි..ඇයගේ නළලතෙහි හැඩය සඳට ආදේශ වෙයි..ඒ දෙස බලා ඔහු සැනසෙයි..නැවතත හෙටත් මේ ලෙසටම කඳු මුදුනින් සඳ නැගෙනාතුරු ඔහු බලා සිටියි...එතනින් දීර්ඝ කාලීන වෙන්වීමක සේයාවක් ජනිත වේ...

ඔහු සඳ දෙස බලා සිටී..මාද ඔහු හා දුක් වෙමි..ඔහුගේ දුක සිතින් වැළඳගමි.ගීයක රසය ලේ වලට පවා දැනෙනා අයුරක් හැඟේ..එන්න ඔබත් ඔහු හා මේ සඳ දෙස බලන්න..


- ජගත් ප්‍රසන්න කුරුගම -
jagathkurugama.blogspot.com

No comments:

Post a Comment