Tuesday, May 23, 2017

ඔබේ නමින් සෑය බඳිමි




ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ ....
ස්වර්ණමාලියේ ....

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ ......

බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම පාන
හඬට හඬන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ .....


මේ ගීතය අපි ඕන තරම් අහල ඇති.ඒත් අද මම මේ ගීය ගැන කියන්නේ එහි විස්තරයක්වත් විග්‍රහයක්වත් නෙමෙයි.මේ ගීතය ඇහෙද්දි හිතුන සිතුවිලි සමූහය ඔබ හා බෙදාගන්න..පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයූ මෙයින් කියැවෙන්නේ රුවන්වැලි මහා සෑය හා අදාල සිද්දියක් පිළිබඳවයි..මේ ගීය ඇහෙද්දි හිතට දැනෙන්නේ මහා පුදුමාකාර හැඟීමක්..ලංකාවේ විශාලම චෛත්‍යය කරවන්න ජයබිමෙහි පිහිටි තෙළඹු ගසක සිටින දේවතාවියට ගසෙන් බසින්න කියල දුටුගැමුණු මහ රජතුමා කරන ආයාචනාවක් මේ...

මේ කතාවෙදි මට පහන් සංවේගයක් ඇතිවුනේ අන්න ඒ ඉතිහාසය ගැන හිතත්දි..දැන් බොහෝ අය ඔහේ මේ ගීය ඇසුවට ඒ ගීයෙන් එහාට ගිය මොනතරම් ප්‍රෞඩ අතීතයක් අපිට තිබුණද..වසර 24 රටේ පාලකය උන දුටුගැමුණු මහ රජතුමා ජීවත් උනේ ක්‍රිස්තු පූර්ව 161 සිට 137 දක්වා කාලයෙ.මතක තියා ගන්න ක්‍රිස්තු වර්ෂ නෙමෙයි ක්‍රිස්තු පූර්ව .
ඒ මීට වසර 2000 කටත් කලින්.හොඳටම තේරෙන්න කිව්වොත් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නටත් අවුරුදු 100 ට විතර කලින්.. මොනතරම් දිගු කාලයක්ද. දැන්  2017...

අනේ අපේ ඉතිහාසේ කොච්චර දිගද කියල ඔබට හිතා බලන්න මේකම ඇති නේද.ඒත් කීයෙන් කී දෙනාටද මේ ජාතික ඉතිහාසේ ගැන හැඟීමක් තියෙන්නේ.මීට අවුරුදු දාහකට දෙදාහකට ඉස්සර රජවරු කරවපු දේවල වලින් අපි අදත් ප්‍රයෝජනය ගන්නව..ඒව ගැන කවි ගීත ලියනව.එහෙව් ඉතිහාසයක් තියන අපි අද මොනවද කරන්නේ.. කීයෙන් කී දෙනාටද මේ රට ගැන අගයක් තියෙන්නේ..අවුරුදු දෙතුන් සීයක ඉතිහාසයක් තියන රටවල් ලෝකේ කොච්චර තියනවද .ඒ රටවල් වල මිනිස්සුන්ට තමන්ගෙ අතීතය මෙහෙමයි කියල කියන්න කිසිම භෞතික දෙයක් නෑ , ඇලක් දොලක් නෑ , පුරාවස්තුවක් නෑ , රාජ පරම්පරාවක් නෑ.. ඒත් ඒ මිනිස්සු අනුන්ගෙ අතීතයකින් හරි තමන්ට නැති ඒ අඩුව පිරිමහ ගන්නව.ඒ සේරමත් තියෙද්දි අපි තාමත් දියුණු වෙමින් ඉන්නව.

වසර දෙදහසක මහඟු අතීතයක් තියන අපි මොනතරම් දියුනුවක් ලබන්න ඕනද.
දැන් මේව කිව්වම සමහරු හිනාවෙනව කියල මම දන්නව..කොහේ තියන ඉතිහාසයක්ද..ඕව දැනගත්ත කියල මොනවද ලැබෙන්නෙ  කියල කියාවි..ඒක තමයි අපිට වැරදුනම තැන.අනිත් රටවල් තමන්ගෙ ඉතිහාසේ අගය කරමින් ඉදිරියට යද්දි අපි අපේ ඉතිහාසේට හිනා වෙවී පස්සටම ගියා..පුරාණ රජවරුන්ට පස්සෙ අපිට තාමත් ඒ වගේ විශාල දාගැබ් හදන්න බැරුව ගියා...යන්තම් වසර දෙදාහකට පස්සෙ අපිට හදා ගන්න පුළුවන් උනේ කොත්මලේ මහවැලි මහ සෑය විතරයි.ඒකටත් අවුරුදු 33ක් ගතවුනා..

මේ ගීතය අසද්දි මගේ හිතට ආපූ දේවල් තමයි මේ...අදටත් අපේ රටේ තවම කිසිම ඇගයීමකට ආරක්ෂාවකට ලක් නොවුන ඉතිහාසයට අයිති දේවල් කොච්චර තියනවද .වල්බිහි උන වෙහෙර විහාර කොච්චර ඇතිද.ඒව ආරක්ෂා කරන්න ආයතන තිබුනත් ඒවයින් හරියටම ඒ දේවල් වෙනවද  ..ඔබ කොතෙකුත් අනුරාධපුරේ ගිහින් ඇති, රුවන්වැලි මහා සෑය වැඳලත් ඇති.දෙවියන්ට පින් දීලත් ඇති..ඒත් මීට අවුරුදු දෙදාහකට එහා මේ සෑය බඳින්න මහන්සි උන මිනිසුන් ඔබට මතක් උනාද..මේ සෑය බැදපු අවුරුදු දෙදාහක් එහා ජීවත් උන ඒ මිනිස්සුටත් ඒ පිනෙන් කොටසක් අනුමෝදන් කලෝතින් ඒක කොච්චර සාධාරණද .. ඔබම හිතන්න..


- ජගත් ප්‍රසන්න කුරුගම -

No comments:

Post a Comment