Friday, May 6, 2016

ගීතයක් කියවීම



පාතබනා බිම වැළි කැටයක් වෙමි
දෙපා සිඹින්නට අවසර නැතිදා...
මද පවනක් සේ ගත දැවටෙන්නෙමි
තුරුළුව ඉන්නට අවසර නැතිදා ....

ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
සඳ පායනතුරු තනිය මකනවා
පහන් තරුවසේ උදෑසනින්විත්
හිරුට හොරා දුක සැප විමසනවා ....

පියදසුනක් වෙමි දෙනෙතෙ රැදෙන්නට
හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
සිතුවිල්ලක් වෙමි සිත සනසන්නට
සෙනෙහස ඉල්ලමි ජීවත්වෙන්නට ....


සදාකාලික නොවෙනා අදරයක්, සෙනෙහසක් පිළිබඳව කතා කෙරෙණා රම්‍යවූ ගීතයකය ස්ංවේදනාත්මක සටහනකි මේ....
අසංවර නොවූ අසම්මතයක පිහිටි ආදරයක් ගැන කියවෙන්නාවූ මේ ගීය අත්විදීමක් හෝ අත්දැකීමක් නොමැති අයෙකුට වුවද කම්පනයක් ඇතිකිරීමට සමත් වන්නක් නොවෙද....

"පා තබනා බිම වැළිකැටයක් වෙමි
දෙපා සිඹින්නට අවසර නැතිදා...
මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
තුරුළුව ඉන්නට අවසර නැතිදා ...."

ඇය ඔහුට දක්වන්නවූ අසීමිත සෙනෙහස පිටතට දැනේ..හැගේ...කිසිදා තමන්ට ලබාගැනුමට බැරි සෙනේහයකි..දිනන්න්ට බැරි ලෝකයකි...එහෙත් පා තබනා බිම වැළි කැටයක් හෝ වී ඔහුගේ පහස ලැබීමට ඇය පතයි..ප්‍රේම ආලිංගනයකුදු  නොමැතිව මද පවනක් හෝ වී ඔහුට සමීප වීමට ඕ ප්‍රාර්ථනය කරයි...

එහෙත් ඇත්ත සෑම විටම කටුකය..අමිහිරිය...අමනාපය...ඇසට කදුලක් නැගෙයි...එය හිතට මහාමේරුවක් සේ දැනෙයි....එහෙත් මේ හැම පරයා සෙනෙහසක බලාපොරොත්තු විදුලි එළියක් සේ දිලෙයි...

ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
සඳ පායනතුරු තනිය මකනවා
පහන් තරුව සේ උදෑසනින්විත්
හිරුට හොරා දුක සැප විමසනවා ....

මෙලෙස මේ සම්බන්ධයේ සැගවී ඇති විරහව වචන වලින් ලිහී හදවත තුලට රූරා වැටෙයි..

"ඉරබටු තරුව වගේ සෑන්දෑව වනතුරා මම ඔබ ලග ඉන්නම්...ඒත් ඒ සද පායනතුරු විතරයි...ඊට පස්සෙ මට ඒ සඳට ඔබව බාරදෙන්න වෙනව...
ආයෙමත් හෙට උදෙන්න්ම පහන් තරුව වගේ මම ඔබ ලගට එනව...ඒත් ඒ මගේ හිරුට හොරෙන්..."

මෙහි දෙදෙනාටම දෙදෙනා අයිති නොවේ...වෙනත් දෙපාර්ශවයකට මොවුන් අයිතිවී ඇතුවාසේය..මෙහි ඇත්තේ දහවල එක්වීමක් පමණි...කායික එකතුවක් හෝ රැයේ සම්බන්ධවීමෙක් නැත...ඔහු රැයට වෙනත් සඳකට අයිතිය...ඇය, ඇයගේ හිරුට හොරා දහවල ඔහු හමුවේ...

පියදසුනක් වෙමි දෙනෙතෙ රැදෙන්නට
හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
සිතුවිල්ලක් වෙමි සිත සනසන්නට
සෙනෙහස ඉල්ලමි ජීවත්වෙන්නට ....

අවසන ඇත්තේ මනෝරම්‍යවූ ප්‍රාර්ථනාවකි...ඇය ඇයගේ වේදනාවෝ සගවාගෙන ඔහුගේ සතුට පතයි...ඇයගේ හදවත ගැහෙනා හඩ ගීතය තුලින් ඇසේ....සියුම් වේදනාවකින් උස් පහත්වන ළය තුල සැගැවුනු ආයාචනයක් අවසන ඇසේ....ඇය යදින්නෙ ජීවිතයයි....දෛවයට අනුව ලැබී නොලැබී ඇති ආදරයකි...මෙය ගීතයගැන තබන්නාවූ විචාරයක් නොවේ....සියළු බැදීම්වලින් මොහොතකට මිදී ගීතය තුලට කිමිදීමට ඔබට කරනා ඇරයුමකි...එන්න අපි ඔවුන්ගේ හැගුම් විනිවිද දකිමු....

-- ජගත් කුරුගම --

No comments:

Post a Comment