Tuesday, May 10, 2016





නිළම්ඹරේ කැළුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පිය ලඳේ ..

නිළම්ඹරේ කැළුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සඳා රැඳී ඉන්න මට සිතේ ...

මියුරු තෙපුල් පවසා මා
හද සනසනු මැනේ
සිරිකත මෙන් මගෙ පැල තුල
රැදෙන්න පිය බඳේ ...
සුව සහනය මිහිර මවා
එන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකය දෙන්නෙමි
හැම වෙලේ ....

දිවිය සුමුදු මලින් පිරුන
සුව යහනක් නොවේ
හිරිහැර මැද කඳුල සුසුම
ඇතිවිය හැක ලොවේ
ඒ හැමටම මුහුණදෙන්න
සිතේ දිරිය ඇතේ
පැමිණෙන සැප දුක එකලෙස
විඳගමු ජීවිතේ .....



හැත්තෑව දශකය යනු ලාංකික ගීතයෙහි ජීවගුණය පිරුණාවූ කාළයකි..ඒ කාළයෙහි   මෙරට සංගීතයට අවතීර්ණ වූවෝ සදාකල් රසික හඳවත් තුල ජීවත්වන්නාවූ මනුෂ්‍ය කොට්ටාශයන් වෙති.ඉහත ගීය කණ වැකෙත්ම ඒ හඩ කවුරුත් හදුනති...ඒ ප්‍රවීණ ගායන ශිල්පී ෆීලික්ස් ඇන්ටන්‍ ය..

එකල ගුවන් විදුලිය ඔස්සේ ඇසුන මධු රසාංග, දිවා ගී වැනි වැඩසටහන් වලින් නිතරම ඇසුණ මේ තරුණ කටහඩට සැවොම එකසේ ආසා කලේය..අද වැනි විකාර රූපී බසින් නොව සෑම සිතකටම මතක හිටිනා ගීත ගොන්නක් ඔහු දැයට දායද කොට ඇත..එසේම ඔහු ගුවන් විදුලි රංග ශිල්පියෙකි..1971 දී ඔහු ගැයූ මුල්ම ගීතය නම්  " නෙත පිනන රුසිරු රුව ඔබේ " නැමති ගීයයි..

ඉන් පසුව ආදර පිය ලඳුනේ , ඕවිල්ලේ පෙම් සැඳැල්ලේ , මල් නෙලලා වරලස ගවසාලා , එකම ඉසව්වේ එකම දනව්වේ , හද ගී පොතේ පිටුවක් පුරා , මල් කුමාරියක් වගේ , නිල් විල් තලාවේ , පෙම් හසරැල් කෝමලියේ , සුළං රැල්ල ලෙස හමා එමී  වැනි බොහෝ රසවත් ගී ඔහු මුවගින් ගැයුනි..

බොහෝ කාළයක් ඉක්ම ගියත් අමතක නොවෙන ඒ ගී සොයා මා කලකට පසුව ෆීලික්ස් ඇන්ටන් සුහද සංගීත් වේදියාන්න්ට කතාකලේය..පෙර පරිදිම ලයාන්විත හඩ දෙසවනට ගෙන ආවේ සිසිලසකි..
" මගේ සංගීත දිවියට දැන් අවුරුදු 40 ක් වෙනව..මේ ලගදි මගේ " සුළං රැල්ල ගීතය නව පරපුරට ගැලපෙන්න සෙන්ටිග්‍රේඩ් එක්කල ආයෙ කලා..ඔහු තැන්පත් ස්වරයෙන් පවසයි..

ඒ සමගම ඔහු තවත් අතීත කතාවක් සිහිපත් කලා..ඒ කාලේ ඩෝල්ටන් අල්විස් නිතරම එයාගෙ ගීතයක් කියමු කියල මට කිව්වා..ඒත් ඒකට වෙලාවක් තිබුණෙ නෑ..දවසක් ගුවන් විදුලියෙදි හමුවුන ඩෝල්ටන් අල්විස් එක පාරටම එන්න එන්න මෙන්න මේ සිංදුව දැන්ම කියන්න කියල සිංදුවක් ලියල ලඟ සිටිය ලයනල් අල්ගමට දුන්න මේකට මියුසික් කරල දැන්ම ෆීලික්ස් ලවා කියවන්න කියල...ඉන් පස්සෙ සංගීතවේදී ලයනල් අල්ගමයන් ඒ මොහොතේම ඒකට තනුවක් යොදල ගීතය පටිගත් කලා..ඊලියන්ද සොයිසා තමයි ඒකට පියානෝ වාදනය කලේ...ඇත්තෙන්ම මේක මට ලොකු දෙයක්..මොකද ඩෝල්ටන් අල්විස් කියන්නෙ අපේ ප්‍රවීණයෙක්..එහෙම කෙනෙක්ගෙන් මේවගේ අවථාවක් ලැබෙන එක ලොකු දෙයක්...එදා එලෙස හදිසියේ පටිගත කල ගීයයි මේ...

හද සිඹින මල් මල් මල්
සිහින මල් ..//
කිසි කෙනෙක් නොදුටු මල් ..
හද සිඹින මල් මල් මල්
සිහින මල්..//

ඒ වගේම මට තවත් අමතක නොවෙනා ගීයක් තමයි රුක්මණි දේවි එක්කල කියපු " නිලම්ඹරේ කැළුම් පිරී සරා සඳ වගේ " කියන  ගීය.ඔය සින්දුව ලීවේ " ලීනස් මෙන්දිස් පියතුමා." එතුමා මේ ගිතය ලියල එය මට රුක්මණී දේවීත් එක්කල කියන්න්ම ඕන කියල බලකලා..ඉන් පස්සෙ රුක්මණී දේවි හමුවුනාම ඇය මේ ගීය මා සමග ගයන්න එකඟවුනා..මෙය සංගීතවත් කලේ ස්ටැන්ලි පීරීස්..අවාසනාවට මෙය ගැයූ වසරේම රුක්මණී දේවී මියගියා...අදටත් මේ ගීය ගොඩාක් ජනප්‍රියයි.

එසේම ඔහු තවත් දෙයක් මේ මොහොතේ පැවසූවා.මගේ ගීත එකතුවක් ගුවන් විදුලියෙන් ලඟදි නිකුත් කලා " ජීවිතය සොඳුරුයි " නමින්..එය කැමති කෙනෙකුට ලබාගන්න පුළුවන් ..

මෙවැනි ගී ගැයූ ගායකයෝ ඇත්තෙන්ම රටට සම්පතකි .. අද මුදලට සිය ගණන්  ගීත පටිගත කොට විවිධ මාධ්‍ය ඔස්සේ එළිදැක්වූවත් ඒ ගීත සතියක්වත් අප මතකයෙහි රැඳෙයිද...එවන කලෙක මෙවැනි ශිල්පියෝ රටට උදාරවූ පුද්ගලයෝම නොවේද ..ෆීලික්ස් ඇන්ටන් සොඳුරු ගායකයාණෙනි ඔබ චිරාත් කාළයක් යෙහෙන් වෙසෙත්වායැයි අප සැම ප්‍රාර්ථනා කර සිටිමු....
 

ජගත් කුරුගම

https://m.facebook.com/groups/788049011255445?view=permalink&id=1098331200227223

No comments:

Post a Comment