Friday, July 15, 2016

සොඳුර නුඹ ලිහිණියක



සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඩන
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණ තටු පිරිමදින ...

අහිංසක අප දෙදෙන
තටු කඩා මේලෙසින
සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ..

කටුක දුක් විරහ මැද
අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....



ප්‍රිය විප්පයෝගයෙන් ඇලලී ගිය මිනිසෙකුගේ හැගුම්බර හඩ ආයේමත් ඇසී නෑසී ගියා..ජීවිතය මහමෙරක් තරම් බරවූ විට ඒ බර මදකට හෝ යටපත් කිරීමට හමා එන සුළඟක් ලෙසිනුයි නුඹේ සෙනෙහස මට දැනෙන්නෙ..එක්වී සිටින්නට පෙරුමන් පිරූ දෙහදක් සමාජයෙහි විශමතාවය මත් දෙතැනක වේදනා විඳිනා කතාවක්ද මෙය ..
නුඹත් මමත් ලිහිණියන් දෙදෙනෙකුද ....

විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීතය රචනා කලේ ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ..මේ ගීයෙහි යට ගියාව ගැන රත්න ශ්‍රී විජේසිංහයන් එක්තරා දෙසුමකදී සඳහන් කලේ මෙහෙමයි...

මම ගුරුවරයෙකු ලෙසට සේවය කරපු අසූව දශකයේ මුල් භාගයේදී එවකට පැවති රජය කිසිම හේතුවක් නැතිව මාව මොනරාගල අති දුෂ්කර පළාතකට මාරු කෙරුවා.. ඒ කාළයේ මා විවාපත්වූ අළුතයි.මගේ දුව ලැබුණා විතරයි.. ඉතිං මට ඔවුන් ඒ ප්‍රදේශයට රැඟෙන යාමට පුළුවන් කමක් තිබුණෙ නෑ..මම රටේ එක පැත්තක තනිවෙද්දි ඔවුන් රටේ තවත් පැත්තක තනිවුනා.. මට මේ තනිකම තදින් දැණුනා..

මට මතක උනා මයුර සංදේශයෙහි එන මේ කවිය .

ගසා කරින් සක්වා වෙන්කල පවින
නිසා පියඹ තුරු පිරිවර ගෙවින
සසා වෙසින් දොමු රස වෙයිනි එමදින
සසාදරවු බල පල ලද උදෑසන..

මේ කවියෙන් කියවෙන්නෙ සක්වාලිහිණින්ගේ රාත්‍රියෙහි වෙන්වීම..සක්වාලිහිණින්  දහවල් කාළයෙහි දෙදෙනෙකු වශයෙන් එකට වාසය කරනවා..රාත්‍රියෙහි සඳෙහි රශ්මියෙන් එම සතුන් දෙදෙන වෙන් කරනව... ඉන් පස්සෙ ඒ සක්වාලිහිණින් ගඟෙහි දෙපැත්තෙ ගස් දෙකකට වෙලා එලිවෙනතුරු මුහුණට මුහුණ  බලාගෙන හඩනව..මේක වෙන්නෙ සඳේ රශ්මියෙන්..මේ පව සඳට උදේට පල දෙනවා..සඳ උදේට සාවෙකුගෙ වෙසින් දුඹුරු පැහැවෙලා සැඟවෙනව..මෙහෙම වෙන්නෙ සක්වාලිහිණින් වෙන්කල පවෙන්..

ඉතිං මටත් හිතුණා මට උනෙත් සක්වාලිහිණින්ට සිදුවුන දේ කියල. ඉන් පසුවයි මාතින් මේ ගීය ලියැවෙන්නෙ...

අහිංසක අප දෙදෙන
තටු කඩා මේලෙසින
සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ..

මා මෙතනදි මයුර සංදේශ කවියා වගේ සඳට දොස් කියන්නෙ නැහැ..සඳ කුමක් කරන්නද..මෙය කෙටි කාලයකින් අපිට අහිමිවුන අපේ එක්ව සිටීමේ කාලයයි..මම එක් පසකත් මගේ දරු පවුල අනෙක් පසකත් තනිවෙලා.. හරියට ගග දෙපස වෙන්න්වුන සක්වාලිහිණින් වගේ ...


කටුක දුක් විරහ මැද
අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....

අපේ ජීවිත මේවගේ දුකක් මැද අතරමංවුනාට අපි හැමදාමත් අපිට ආදරෙයි..අපේ මේ දුක කවදාවත් අපේ දරුවනට විඳින්න දෙන්න ඕන නෑ.. කියාදෙමු අපි අපේ දරුවන්ට ජීවිතය ජයගන්න ඕන විදිය..
ඔන්න ඔය කතාවයි මම මේ ගීයෙන් ලිව්වෙ.. විශාරද කපුගේ ගීතය සංගීතවත් කරල ගැයුවා..

රත්න ශ්‍රී විජේසිංහ වියතාණන් ගීයෙහි අතීත කතාව ගෙනහැරපෑවෙ ඔය විදියටයි..මේ කතාව ඔබටත් මටත් ජීවිතයෙහි කොයිතරමට විෂය වනවාදැයි බලන්න..
සොඳුර නුඹ ලිහිණියක ..

ජගත් ප්‍රසන්න කුරුගම.

jagathkurugama.blogspot.com
14/07/16

No comments:

Post a Comment